Saturday, September 21, 2024

හොරු ආරක්ෂා කරන්න මම බැදිල නැ-ඇමති වජිර

රජයේ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහය අනුව කටයුතු කළ යුතු බවත් එලෙස කටයුතු කිරීමේදී යම් වරදක් සිදු කළහොත් එම ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ හෝ දඬුවම් දීමේ ක්‍රමවේදයක් රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින බැවින් එෆ්සීඅයිඩී කැඳවීම අවශ්‍ය නැති බව ස්වදේශ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

 

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවැසුවේ ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේදී පැවැති, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරන ගාල්ල දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට නියමිත නිල මෙහෙවර ජනපති ජනතා සේවයේ 2 වැනි වැඩසටහන පිළිබඳව දිස්ත්‍රික් නිලධාරින් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 

“රාජ්‍ය නිලධාරින් කුමක්ද කළ යුත්තේ කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙනවා. ජනාධිපතිතුමා අමාත්‍යාංශවල ලේකම්වරු පත් කරනවා. රාජ්‍ය ප්‍රතිපත්ති ආයතන ප්‍රධානීන් මාර්ගයෙන් ක්‍රියාවට නැංවීමට එම ලේකම්වරු බැදිල ඉන්නවා. ආයතන සංග්‍රහයේ 317,318,319,320,321 පිටු හොදින් කියවා බලන්න.රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට බැඳී සිටින බව එහි බොහෝම පැහැදිලිව සඳහන් වෙනවා. සමහරු FCID එක ගැන කියනවා. ඒ ගැන කලබල වෙන්න එපා. මේ සඳහා FCID එක අදාළ නැහැ.පොලිස් ආඥා පනත යටතේ රජයේ නිලධාරින් පාලනය වෙන්නේ නැහැ. රජයේ නිලධාරින් පාලනය වන්නේ ආයතන සංග්‍රහය යටතේ.රජයේ නිලධාරින් පොලිසියට පාලනය කරන්න පුළුවන් අපරාධයක් අවස්ථාවකදී පමණයි. එහිදී අමාත්‍යාංශ ලේකම්ට කියන්න අවශ්‍ය නැහැ. ක්‍රමවේදය දැන ගත යුතුයි. පසුගිය අවුරුදු 10 තුළදී මේ රජයේ නිලධාරින් මහින්ද චින්තනය ක්‍රියාත්මක කළා නම්, ඔවුන් බොහෝ දක්ෂ නිලධාරින්. ඒ යුගයේදී මහින්ද චින්තනය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳිල සිටියා.මම ඔවුන් ආරක්ෂා කරනවා. බය වෙන්න එපා.ඔවුන් හොරකම් කරල තියනවා නම් ඒවා ආරක්ෂා කරන්න මම බැඳිල නැහැ.

 

 

 

මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් කැඳවා, මහින්ද චින්තනය දැන් ඉවරයි කිව්වා. 2015 ජනවාරි 8, අගෝස්තු 17 වැනිදායින් පසු ඒ චින්තනය ඉවර වුණා. දැන් අලුත් ප්‍රතිපත්තියක් පවතින්නේ. ඒ සඳහා අන්තර්ගත වී වැඩ කරන්න තියෙනවා.හරි පහසුයි. මට රාජ්‍ය නිලධාරින්ගේ පක්ෂ – පාට අදාළ නැහැ. රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන නිලධාරින් ආරක්ෂා කිරීමට මම බැඳිල ඉන්නවා.එලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කළ රාජ්‍ය නිලධාරීන්ට වත්මන් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහය අනුව වැඩ කරන්න. කුමන පක්ෂයක හෝ මහජන නියෝජිතයකු රජයේ නිලධාරියෙකුට වැඩක් කිව්වාම බැහැ කියන්න බැහැ. කුමන පක්ෂයක මහජන නියෝජිතයකු වුවත්, ඉදිරිපත් කරන්නේ ජනතාවගේ ප්‍රශ්නයි. ඒ ගැන හොඳින් කල්පනාවෙන් ක්‍රියා කිරීම සමස්ත රාජ්‍ය නිලධාරින්ගේ යුතුකමක් වෙනවා.”යැයි කීය.

 

 

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා,නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලාන්සා, නිශාන්ත මුතුහෙට්ටිගම, මනූෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි,ගාල්ල දිස්ත්‍රික් ලේකම්  එස්.ටී.කොඩිකාර මහත්වරු ඇතුළු දකුණු පළාත් අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු, ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම ක්ෂේත්‍ර නිලධාරීහු සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles