Thursday, December 26, 2024

හෝමාගම රෝහලේ කොවිඩ් වාට්ටු රෝගීන්ගෙන් පිරී යයි

කොවිඩ් ආසාදිතයින් සඳහාම වෙන්කර ඇති හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යන කොවිඩ් රෝගී ප්‍රතිකාර වාට්ටු සියල්ල මේ වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වේ.

හෝමාගම මූලික රෝහලේ රෝහල් අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද (25) දිනයේ සිට වෙන්කර ඇති බවය.

“අපි තීරණය කළා හෝමාගම රෝහලේ තවත් ඒකක දෙකක් කොවිඩ් රෝගීන් සඳහා අද දිනයේ සිට වෙන් කරන්න. මෙවර අපි දකින විශේෂ දේ තමයි, මෙවර දැඩිසත්කාර ඒකකයට ඇතුළත් වන්නේ ගියවර වගේ නෙමෙයි, තරුණ රෝගීන් සහ විශාල වශයෙන් සංකූලතා රහිත රෝගීන්. මේක විශේෂත්වයක්. කළයුතු එකම දේ තමයි ජනතාව තේරුම් අරගෙන විශාල වශයෙන් සංචරණය සීමා කිරීම.”

මේ අතර හිරිපිටිය නගරයට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන තිබේ.

කුඹුක්ගැටේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සිසිර බණ්ඩාර මහතා සඳහන් කළේ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමු‍ණින් මෙම පියවර ගෙන ඇති බවය.

ඉන්දියානු මුහුදු සීමාවට ගොස් ධීවර කටයුතුවල නිරත වී බේරුවල ධීවර වරායට පැමිණෙන සියලු ධීවරයින් සඳහා කොවිඩ් -19 පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබේ.

බේරුවල ධීවර වරාය කළමනාකරු එරංග එඩ්වඩ් මහතා සඳහන් කළේ ඊයේ දිනය තුළ පමණක් වරාය ආශ්‍රිතව PCR පරීක්ෂණ 410ක් සිදුකළ බවය.

එමෙන්ම පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳසැළේ සහ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන වෙළෙඳුන් සහ පාරිභෝගිකයින්ට නඩු පැවරීමට අද කටයුතු කර තිබුණි.

මේ අතර පවතින කොවිඩ් අවදානම මධ්‍යයේ අදත් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ සිටි ආකාරය දක්නට ලැබුණි.

නුවරඑළිය නගර සභාව මේ මස 30 වැනිදා දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව පවත්වන ක්‍රීඩා තරඟ නැරඹීම සඳහා මෙලෙස විශාල පිරිසක් එක්රැස් වන බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles