Saturday, January 11, 2025

ළිං මැඩියන් සේ සිතන විපක්ෂය, වරාය නගරය බිල්ලෙකු සේ පෙන්වීමට උත්සාහ කරනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

ළිං මැඩියන් සේ සිතන විපක්ෂය වරාය නගරය බිල්ලෙකු සේ  මවා පාමින් රටට ඒමට නියමිතව තිබූ වැදගත් අයෝජන අවස්ථාවක් නැවැත්වීමට උත්සහ කළද එය පරාජයට පත්වූ බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පැවසීය.

 “සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමයෙන් මිදී, අලුත් සංවර්ධන වැඩපිළිවෙළක්, නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේදී විවිධ පාර්ශවයන් විරුද්ධ වීම අපේ රටට සාමාන්‍ය දෙයක්. මෙම ව්‍යාපෘතිය තුළින් රටට සහ ජනතාවට හිමි වන පහසුකම් සහ ආර්ථික ප්‍රතිලාභ අවබෝධ කර දීම රටට ආදරය කරන කාගේත් යුතුකමක්. වරාය නගර යනු ලෝකයට අලුත් දෙයක් නොවෙයි. ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මූලෝපායික වශයෙන් ඉතා වටිනා ස්ථානයක පිහිටීමේ වාසිය ලබා ගනිමින් ආර්ථිකයේ නව පිම්මක් පැනීම අපි නොපමාව කළ යුතුයි. ඒ නිසා ලෝකය ගැන දන්නේ නැති අයට මෙය අමුතු දෙයක් ලෙස පෙනෙනවා. අපට තවදුරටත් ළිං මැඩියන් විදියට කටයුතු කරන්න බැහැ. ළිං මැඩියන් විදියට හිතන විපක්ෂය තමයි වරාය නගරය බිල්ලෙකු සේ රටේ ජනතාවට මවා පෙන්වන්නේ. අපේ රට මිත්‍රශීලි රටවල් සමග සමීපව කටයුතු කළ යුතුයි. ඒ සඳහා ආයෝජකයින්ට අපේ රටට පැමිණීමට අවස්ථාව සලසා දීම මෙම ව්‍යාපෘතිය හරහා සිදු කළ හැකියි. 

මහ කොළඹ ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගන්නා ලද අවස්ථාවේත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ආරම්භ කරන ලද අවස්ථාවේත් ඒ තුළින් රටේ ස්වාධීනත්වය අහෝසි වන බවත්, ලාංකිකයන්ගේ රැකී රක්ෂාවලට ප්‍රශ්නයක් විය හැකි බවත් එදත් විරුද්ධ වූ පිරිස් ප්‍රකාශ කළා.  රටට ගලා ආ විදේශ ආයෝජන හරහා රැකි රක්ෂා වැඩි වී ජාතික ආදායම ද වර්ධනය වූ නිසා ඒ විරුද්ධවාදීන් නිහඬ වුණා. අපේ රජය කටයුතු කරන්නේ රටේ පවතින නිතී රාමුව තුළයි. එනිසා රටේ ජනතාව කිසිසේත් මෙවැනි ව්‍යාපෘති පිළිබඳව බියට පත්විය යුතු නැහැ.

ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබඳතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත් වෙනවා. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරයේ අගය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යාම වළක්වන්න බැහැ. එමනිසා මිලියන 22 ක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැකියි. එබැවින් රටේ ආර්ථික ස්ථායිතාවයක් ඇති කර ගැනීම සඳහා චීනය ඇතුළු මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතුයි. ඒ සඳහා කොළඹ වරාය නගරය කදිම ආයෝජන අවස්ථාවක් බව පැහැදිළිවවම සඳහන් කළ යුතුයි” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles