Sunday, September 22, 2024

ෆින්ලන්තයෙන් මෙරට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය

ශ්‍රී ලංකාවට හඳන්වාදීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගැනීමේ හැකියාව සහ වැදගත්කම සම්බන්ධ වැඩමුළුවක් අද (01) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ආරම්භ විය.

මෙම වැඩමුළුව දින 03ක් තිස්සේ පැවැත්වීමට නියමිත ය. 08දෙනෙකුගෙන් සමන්විත ෆින්ලන්ත අධ්‍යාපනඥයන් කණ්ඩායමෙහි නායකත්වය දරනුයේ ෆින්ලන්තයේ හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා පීඨයේ උප පීඨාධිපති සහ ගුරු අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය ලීනා ක්‍රොක්ෆර්ස් (Leena Krokfors) මහත්මිය යි.

ලොව දියුණු ම සහ ඉහළ ම අධ්‍යාපන ක්‍රමවේදයන් යොදා ගනිමින් සකසා තිබෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමවේදයන් මෙරටට හඳන්වාදීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා භාවිත කිරීම, පාසල් විෂය නිර්දේශයන් සඳහා භාවිත කිරීම, බහු කාර්ය පන්ති කාමර සැකසුම ආදිය පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනඥයින්, නිලධාරීන් දැනුම්වත් කිරීම මෙම වැඩමුළුවේ අරමුණු විය.

පෙරපාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ට ඉගැන්වීමට නොව ඉගෙන ගැනීමට සැළැස්වීම, ප්‍රාථමික අධ්‍යාපනයේ ලා ගුරුවරුන් යෙදවීම, දරුවන්ගේ දක්ෂතා අනුව ඔවුන් අධ්‍යාපනය කරා යොමු කරවීම ආදිය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත ය. එමෙන් ම රටේ අධ්‍යාපනයේ සැකසුම, ද්විතීයික, වෘත්තීය අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ සැකසුම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානය යොමු කිරීමට නියමිත ය.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ද මැදිහත්වීම මත ජාතික අධ්‍යාපන ආයතනය මඟින් රටේ අධ්‍යාපනයේ නව පරිච්ඡදෙයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් බැව් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසී ය.

මෙම අවස්ථාව සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව ඇතුළු මෙරට අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් සහ විද්වතුන් පිරිසක් ද සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles