Tuesday, September 24, 2024

05 දා සිට විදුලිය කපන්නෑ කියා තිබිදී තවමත් කපන එක කුමන්ත‍්‍රණයක් – නාමල්

විදුලිය කප්පාදු නොකරන බවට ප්‍රකාශයක් දී තිබී තවදුරටත් විදුලිය කප්පාදුව සිදු වන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මාර්තු 05 වැනිදා සිට විදුලිය කප්පාදුවක් නොකරන්නේ යැයි ජනාධිපතිවරයා සමග අදාළ බලධාරීන් පවසා ඇති බවත් එසේ තිබියදීත් තවදුරටත් විදුලි කප්පාදු කිරීම ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙසේ කියා සිටියේය.

“විදුලිය කප්පාදු කරන්න එපා කියල අතිගරු ජනාධිපතිතුමාත් ආණ්ඩුවත් නිලධාරීන්ගේ රැස්වීමේදී වචනයක් දුන්නා. දැන් කැපෙන්නේ ඇයි කියල හොයන්න ඕනේ. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද මිටීමකට ඇවිල්ලා අපි විදුලිය කප්පාදු කරන්නේ නැහැ අවශ්‍ය දේවල් තියෙනවා අපිට තෙල් ටික දුන්නම ඇති කියල පහුවදාට ගිහින් විදුලිය කපනවා නම් එතන ගැටළුවක් තිබෙනවා. එතන යම්කිසි සැඟවෙච්ච කුමන්ත්‍රණයක් තියෙනවා. මේ පිළිබඳව දැඩි තීන්දු ගත යුතුයි.

විශේෂයෙන් පිළිගත යුතු කාරණාව මේ කාල සීමාව තුළ ජනතාව ආර්ථික වශයෙන් ජනතාවට අපහසු කාල සීමාවක්. ඒ වගේම තමයි ලෝකයේ තිබෙන තත්ත්වයත් එක්ක අද මේ රටෙත් ලෝකේ හැම රටකම වගේ භාණ්ඩ වල හිඟයක් තිබෙනවා. ඉතින් මේ අර්බුදය විසඳන්න ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙලා තිබෙනවා.

ඒවගේම තමයි අවශ්‍ය තීන්දු තීරණ සියල්ලම ගන්න ආණ්ඩුව පසුබට වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේක අමාරු කාලයක්. ගෝලීය වසංගතයක් එක්ක පැනනැගුණු ගෝලීය අර්බුදයේ කොටසක්.

ඒ වගේම රටවල් දෙකක් ගහගන්නත් පටන් අරන්.මේ විදිහට දැවැන්ත රටවල් යුද්ධ කරන්න පටන් ගත්තම එකේ අවසානයේ හිරවෙන්නේ අපි වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්. සංවර්ධිත රටවලටත් මේක මේ විදිහට බලපානවා නම් අපේ රටවලටත් ඒක බලපානවා.”

මේ අතර බෙදීමක් සහිතව ආණ්ඩුවක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට විශ්වාස කරන බවද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles