Tuesday, September 24, 2024

20 නිසා විගණන කොමිසම අහෝසියි

රජයේ මුදල් අවභාවිත කරන රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීම (මුදල් අයකර ගැනීම) සඳහා පිහිටවූ විගණන සේවා කොමිසම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි වීමෙන් රාජ්‍ය මුදල් අවභාවිත කරන නිලධාරීන්ට එරෙහිව නිසි පියවර ගත නොහැකි බැවින් වහා නව නීති රාමුවක් සැකසිය යුතු බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික‍්‍රමරත්න මහතා දිවයින පුවත්පතට පැවසා ඇත.

වසරකට කෝටි දෙසිය පනහකට අධික මුදලක් වැයකර ජාතික විගණන කාර්යාලයක් පවත්වාගෙන යමින් විගණන නිලධාරීන් ලවා විගණනය කර පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළත් ඉකුත් කාලයේ කිසිවකුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඒ මහතා කීය.

විගණන වාර්තා පාර්ලිමේන්තුවට යොමු කළ පසු කෝප් (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සහ කෝපා (රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව) වෙත යොමු කරන මුත් එකී කාරක සභා දෙක ද ඒවා පරීක්‍ෂා කර යම් යම් නිර්දේශ ඉදිරිපත් කළත් ඉන් එහාට කිසිදු පියවරක් නොගැනීම අපරාධයක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

එනිසා රජයේ විගණනවලදී ලබාදෙන නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට නිසි යාන්ත‍්‍රණයක් සකසා රාජ්‍ය දේපළ අවභාවිත කරන නිලධාරීන්ට දැඩි දඬුවම් පැමිණවීමට පාර්ලිමේන්තුව නව නීති රීති ගෙනා යුතු බවද විගණකාධිපතිවරයා පැවසීය.

ශී‍්‍ර ලංකාව වැනි රටක ඇතැම් පිරිසකගේ විනය දැඩි ලෙස පිරිහී තිබීමෙන් මෙවැනි තත්ත්වයක් ඇතිවී ඇත. ඒ නිසා නීති රීති ගෙන ඒමට පියවර ගත යුතුව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයේ (රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව) නිලධාරීන් කිහිපදෙනකුගෙන් ‘දිවයින’ කළ විමසීමේදී එම නිලධාරීන් කියා සිටියේ තමන් සිදු කරන විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසුව එම නිර්දේශ කි‍්‍රයාත්මක නොකර අවසන් කිරීම නිසා ‘රාජ්‍ය විගණනයත්’ දැන් විහිළුවක් බවට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්‍ෂකවරුන්ගෙන් විමසූ විට එහි නිලධාරීන් කියා සිටියේ විදුලිබල මණ්ඩලය, ශී‍්‍ර ලංකා රේගුව, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම ආදී රාජ්‍ය ආයතනවල සිදුවන ගනුදෙනු, මිලදී ගැනීම්, අලෙවි කිරීම්, රාජ්‍ය සම්පත් භාවිතා කිරීම් පිළිබඳ විගණනය සිදු කරන අයට ඒ විෂය කාරණා පිළිබඳ අවබෝධයක් නොවීමද ගැටලූවක් බවයි. ඊට අමතරව සොරකම සූක්‍ෂමව කර ඇතැයි ද ඔව්හු පවසති.

මේ රටේ බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම රජයේ විගණන කටයුතු ශක්තිමත් කිරීමට නිසි පියවර නොගත් බවද ඔව්හු කියා සිටිති.

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික විගණන කොමිසම ස්ථාපිත කළත් එය බලගැන්වී තිබූ කාලයේත් කිසිම රාජ්‍ය නිලධාරියකුට අධිභාර පැනවීමක් සිදුකර නැති බවද ඔව්හු පවසති.

මීට හේතුවී ඇත්තේ දේශපාලනඥයන්, ඔවුන්ගේ ගෝල බාලයන් හා හිතවතුන් මෙකී රාජ්‍ය ආයතනවලට පත්කර ඔවුනට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට ඉඩ සලසාදී තිබීම යැයි ද විගණන නිලධාරීහු චෝදනා කරති.

මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 11,000 ක් පාඩු ලබන අතර ශී‍්‍රලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 40,000 ක් ද, ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි 13,000 ක් ද පාඩු ලබන තැනට පත්ව තිබේ. මෙයාකාරයට ගියහොත් බැංකු පද්ධතියද කඩාවැටී රට දැඩි අර්බුදයකට යා හැකි බවද විගණන නිලධාරීහු කියා සිටිති.

රජයේ බැංකු දෙක මගින් රාජ්‍ය ආයතන පවත්වාගෙන යෑම සඳහා දිගින් දිගටම ණය ලබාදීම නිසා බැංකු දෙක ද මේ වනවිට අර්බුදයකට ලක්ව ඇත. ඒ පිළිබඳ මහ බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල් මහතා ද අනතුරු අඟවා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles