Thursday, December 26, 2024

2014/15 සහල් ආනයනයෙන් රජයට කෝටි 1515ක පාඩුවක්-විගණනයකදී හෙළිවේ

පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල නොවන ලෙස  සහල් ආනයනය කිරීම නිසා  රජයට සහ ලංකා  සතොස ආයතනයට රුපියල් කෝටි  1515ක (රුපියල් 15,157,031,018) අලාභයක් සිදුවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේ දී හෙළි වී තිබේ.

ලංකා සතොස ආයතනය  2014 සහ 2015 වර්ෂවලදී  ආනයනික සහල් සඳහා රුපියල් කෝටි 2701ක පිරිවැයක් දරා තිබුණ ද, සහල් අලෙවියෙන් ලැබී තිබුණේ රුපියල් කෝටි 1185ක් පමණක් බව ද මේ ගැන කළ විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

සීමා සහිත ලංකා සතොස විසින් 2014 සහ 2015 වර්ෂවලදී සිදු කරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් මස 20 වැනි දා කෝප් කමිටුවෙන් කළ ඉල්ලීමක් අනුව විගණකාධිපතිවරයා මෙම වාර්තාව සකස් කර ඇත.

2012, 2013 සහ 2015 වර්ෂවල දී දේශීය සහල් නිෂ්පාදනය සත්‍ය පරිභෝජන සීමාව ඉක්මවා ගොස් තිබුණ ද එම වර්ෂවලදී විදෙස් රටවලින් සහල්  ආනයනය කර තිබුණු බව ද විගණන විමර්ශනයේ දී නිරීක්ෂණය වී තිබේ.

2014 සහ 2015 වර්ෂවල අවස්ථා ගණනාවක දී සහල් ආනයනය කිරීමේ දී ලංකා සතොස ආයතනය ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය ගැන සැලකිල්ලක් දක්වා නැති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ. එමෙන්ම සහල් මිල දී ගැනීමේ දී විධිමත් ගිවිසුම්වලට එළඹී නැති බව ද හෙළි වී ඇතැයි විගණකාධිපති දොපර්තමේන්තුව සඳහන් කරයි.

විගණනයෙන් පරීක්ෂා කළ පසුගිය නොවැම්බර් 16 වැනි දා වන විටත් මාස 19කට ආසන්න කාලයක් සහල් බහාළුම් කිසිදු ප්‍රයෝජනයට නොගෙන වරාය පරිශ්‍රයේ සහ පෞද්ගලික බහාළුම් අංගන තුළ ගබඩා කර තිබෙන බව ද, ඒවා ගබඩා කිරීමේ දී කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කර ඇති බව ද විගණනයේ දී අනාවරණය වී තිබේ.

මෙලෙස සහල් ආනයනය කිරීමෙන් කෘෂි ආර්ථිකයට සිදුවන බලපෑම් ගැන ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වා නොමැති බවට නිගමනය කරන විගණකාධිපතිවරයා මෙම අලාභය සදහා වගකිවයුතු නිලධාරීන් හදුනා ගත යුතු බවට සිය වාර්තාවෙන් නිර්දේශ කරයි.
ඉදිරියේ දී මෙවැනි අලාභ ඇති නොවීමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කළ යුතු බවටත් විගණකාධිපතිවරයා   නිර්දේශ කර තිබේ.

එසේම අනුමැතියකින් තොරව රජයේ මුදල් භාවිත කර ඇතැයි නිගමනය කරන විගණකාධිපතිවරයා ඒ සදහා නිලධාරීන් වගකීමෙන් බැදෙන බව ද සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles