Saturday, September 21, 2024

2015 වර්ෂයේදී, වැඩිම බහලු හසුරවමින් ඉතිහාසගතවූ කොළඹ වරාය..

2015 වසරේදී ඉතිහාසයේ වැඩිම වාර්ෂික බහලු හැසිරවීම් ප්‍රමාණය වාර්තා කිරීමට කොළඹ වරාය සමත් වෙයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරායේ සමස්ත කාර්ය සාධනය වර්ධනය වීම 12.2% ක් වේ. එහිදී බහලු නෞකා පැමිණීමේ සහ සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන නෞකා පැමිණීමේ වර්ධනය පිළිවෙළින් 12.5% ක් සහ  60.7% ක් ලෙස වාර්තා වී ඇත.
කොළඹ වරායේ මුළු බහළු මෙහෙයුම් ප්‍රමාණයද 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වසරේදී සියයට 5.7 ක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ 2014 වසරේදී මෙහෙයවන ලද අඩි විස්ස බහළු මිලියන 4.9, වර්ෂ 2015දී මිලියන 5.2 ක් දක්වා වර්ධනය කරමිනි. මීට අමතරව ප්‍රතිනැව්ගත කිරීමේ මෙහෙයුම්ද 2015 වර්ෂයේදී සියයට 4.9 ක වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය වසරට සාපෙක්ෂව 2015 වර්ෂයේදී කොළඹ වරායේ මෙහෙයුම් පහසුකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බවයි.
“කොළඔ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයේ (ECT) අදියර 1 හි ඉදිකිරීම් කටයුතු 2015 වසරේ දී අවසන් කරන ලදී. මීටර 30 ක පරතරයෙන් යුතු රේල් පීලි දෙකක් සහිත මීටර 440 ක් දිග ජැටි බැම්ම, මීටර 20 ක් පළල පසුපසට ගමන් කළ හැකි ප්‍රදේශයක් සහ මංතීරු දෙකක් සහිත මාර්ගය, වියළි නැව් බඩු රැඳවීම සඳහා තීරු 12 කින් සමන්විත ගොඩ කරන ලද භූමිය මත බහලු අංගනය, වායු සමීකරණය කරන ලද බහලු ස්ථානගත කරන තීරුවක් සහ මීටර 30 ක් පළල අංගනය වටා පිහිටි පාරවල් මෙන්ම ඇතුළු වීමේ හා පිටවීමේ ගේට්ටු, ඉන්ධන සැපයුම්හලක්, විදුලිබල උපපොළවල්, මලපවහන පවිත්‍රතා යන්ත්‍රාගාරය, ගිනි නිවීමේ පද්ධතිය, ජලය ගබඩා කිරීම හා බෙදා හැරීමේ ජාලය, කුණාටු ජලය අපවහන පද්ධතිය ආදී සේවා සහ උපයෝගිතා ඉදිකිරීමේ කටයුතු අදියර 1 සඳහා අන්තර්ගත වේ. කොළඔ දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන සැලැස්මට අනුව, නැගෙනහිර බහලු පර්යන්තය නිම කිරීමෙන් අනතුරුව වාර්ෂිකව අඩි 20ට සමාන බහලු ඒකක මිලියන 2.4 ක් හැසිරවිය හැකි අතර, මීටර 18 ක් ගැඹුරු ජල තටාකයක පිහිටි බහලු පර්යන්ත 3 කින් හා මීටර 1,200 ක දිගින් යුතු වේදිකාවකින් එය සමන්විත වනු ඇත.” යනුවෙන්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාවේ දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles