Thursday, December 26, 2024

2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව කොළඹ දී

මේ වසරේ ඔක්තෝබර් මාසයේ 12 සහ 13 දිනවල කොළඹ දී පැවැත්වීමට නියමිත 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාව සහ තානාපතිවරුන් දැනුවත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පසුගියදා විශේෂ හමුවක් පවත්වන ලදි. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය ගරු සුජීව සේනසිංහ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිනී ඉන්දිරා මල්වත්ත යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

රටවල් 39 ක් නියෝජනය කරමින් සහභාගී වූ 50 කට අධික නියෝජිත පිරිස අමතමින් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ අපනයන කර්මාන්තයට ජාත්‍යන්තර තලයේ දී අභියෝග රැසකට මුහුණදීමට සිදුවී ඇති මෙවන් යුගයක, එම අභියෝග ජයගැනීමට අත්වැලක් වෙමින් රට පෙරට රැුගෙන යාමට රජය සූදානම් බවයි. මෙම වැඩසටහන තුළ දී ව්‍යාපාරිකයන්ට සෘජුවම ඉහළ තලයේ ගැනුම්කරුවන් හමුවීමට අවස්ථාව හිමිවන අතර, එය මෙරට අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරික අවස්ථා බෙහෙවින් පුළුල් කිරීමට හේතුවක් වනු ඇති බව ඉන්දිරා මල්වත්ත මහත්මිය පැවසුවා ය. එමෙන්ම අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ආයෝජකයන්ට බෙහෙවින් හිතකර වාතාවරණයක් ගොඩනැ‍ඟී ඇති බවයි.

2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව ඇමතීම සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් හා සංවිධාන නියෝජනය කරමින් කැපීපෙනෙන ආරාධිත දේශකයන් පිරිසක් සහභාගී වීමට නියමිත ය. එමෙන්ම ප්‍රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර නියෝජනය කරමින් රටේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයෝ රැුසක්ද මීට සහභාගී වෙති.

මෙවර ලෝක අපනයන සංවර්ධන සමුළුවේ තේමාව වී ඇත්තේ Trad for success:cconnect’Compete Change යන්නයි. මේ යටතේ වත්මන් වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය, නව වෙළඳපොළවල් සහ වාණිජ සාර්ථකත්වය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ආයෝජන මණ්ඩලයද එකිනෙක යා කරන සුවිශේෂී වාණිජමය ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.

”නව ශ්‍රී ලංකාවක් පිළිබඳව පණිවිඩය ලෝකයට රැගෙන යාමට අපට අවශ්‍යයි. මේ වැඩසටහන ඒ සඳහා ඉතාමත් හොඳ පදනමක් සකසනු ඇතැයි කියා මා සිතනවා.” සුජීව සේනසිංහ මැතිතුමන් අවසන් වශයෙන් පැවසී ය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යනු මෙරට අපනයන කටයුතු සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන ප්‍රමුඛතම ආයතනය වේ. සාධනීය ව්‍යාපාරික වටපිටාවක් ඇතිකිරීම සම්බන්ධයෙන් රජයට ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදීම මඟින් එය මෙරට ආර්ථිකය හැඩගැස්වීම සඳහා ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් ඉටු කරයි. පෞද්ගලික අංශය වෙනුවෙන් වෙළඳපොළ සංවර්ධන වැඩසටහන් හා අපනයන නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමටද පියවර ගනී.

අපනයන සංවර්ධනය සඳහා වේදිකාවක් සපයමින් ව්‍යාපාරික ප්‍රජාව අතර වෙළඳපොළ සම්බන්ධ දැනුවත් භාවය වර්ධනය කිරීමද එහි කාර්යභාරයන් අතර ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත. මේ සියල්ල නිසා සුහදශීලී ව්‍යාපාර සහකරුවකු ලෙස පෞද්ගලික අංශය තුළ කීර්තියක් දිනාගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය සමත් වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles