Friday, September 20, 2024

2022 අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

නොවැම්බර් 08 වැනි සඳුදා සිට දෙසැම්බර් 10 සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෑම දිනකම පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මේ අතර , ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට ඊයේ (21) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා කියා සිටියා.

කථානායකවරයාගේ යෝජනාවකට අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ පිළිබඳව සලකා බැලුණු අතර ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අතර නොවැම්බර් 09 වැනි අඟහරුවාදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම්වරයා සඳහන් කළා.

පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තා ත්‍රිත්වයට අදාළව රජය විසින් ගෙන එන යෝජනාවක් ලෙස මෙම සභාව කල් තැබීමේ විවාදය එදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ලබන 08 වැනි සදුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස සම්පූර්ණ දිනයම චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමට ද මෙහිදී තීරණයවී තිබෙනවා.

කොවිඩ් තත්ත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේදී ඇසීම‍ට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සදහා මෙදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර ඇති බව සඳහන්.

මේ අනුව ලබන 08, 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 12 වැනි සිකුරාදා ප.ව 2.00 ට 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙනවා.

නොවැම්බර් 10 වන බදාදා පෙ.ව 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර, පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන්.

පෙ.ව 11.00 සිට පෙ.ව 4.30 දක්වා 2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සදහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරගැනීමට නියමිතයි.

නොවැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

අනතුරුව පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතයි.

නොවැම්බර් 10 සහ 11 යන දෙදිනම ‍ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමටත් වෙන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles