Friday, November 8, 2024

2023 වසරේ මහමැතිවරණයකට සූදානම් වෙන්න. බැසිල් පළාත් පාලන නියෝජිතයින්ට කියයි

2023 වසරේදී මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමක් පසුගියදා අරලියගහ මන්දිරයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ධුර කාලය 2022 ජනවාරි 10 වනදායි අවසන් වීමට නියමිතව තිබුණු අතර පළාත් පාලන පනතේ බලතල ප්‍රකාරව රජය විසින් එය 2023 මාර්තු 19 වනදා දක්වා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් දීර්ඝ කරන ලදී. ඒ අනුව 2023 මාර්තු 19ට පෙර පළාත් පාලන මැතිවරණය කැඳවීමට සිදුවේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා තම පක්ෂයේ ප්‍රාදේශීය සභා, නගරසභා, මහ නගරසභා නියෝජිතයින්ට දැනුම් දී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට පෙර මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.


බැලූ බැල්මට කුමක් පෙනුනත් 2023 වසරේදී මහමැතිවරණයක් පැවැත්වීම යනු ආණ්ඩුවේ පාර්ශවයෙන් ගත් කල වඩාත් දියුණු දේශපාලන උපක්‍රමයක් බව ගැඹුරින් සලකා බැලීමේදී පෙනේ.

පළාත් පාලන මැතිවරණය යනු ගමේ ඡන්දයයි. එහිදී ඡන්දදායකයින් හැසිරෙන්නේ ජාතික මැතිවරණයකදී හැසිරෙන ආකාරයෙන් නොවේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේත් කොට්ඨාස ක්‍රමයට අනුවය. 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ද එවකට ආණ්ඩු බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයකට මුහුණ පෑමට සිදුවිය.

ඒ අනුව රටේ පවතින තත්වයත් සලකා බැලීමේදී 2023 වසරේදී පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද සැලකියයුතු පසුබෑමකට ලක්වීමට සිදුවනු ඇත. එවන් පසුබෑමක් සිදුවුවහොත් ඊට වසරකට පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එය දැවැන්ත අවාසි සහගත තත්වයක් නිර්මාණය කරනු නියතය.

එහෙත් පළාත් පාලන මැතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වුවහොත් එය ජාතික මට්ටමේ මැතිවරණයක් හෙයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම් වාසිදායක තත්වයක් එහිදී පවතී. විශේෂයෙන්ම විපක්ෂය දැඩි ලෙස බෙදී සිටින තත්වයක් තුළ ඔවුන්ට ආණ්ඩුවට එරෙහිව ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට ඇති හැකියාව දැනටත් සීමිතය. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව යම් කලකිරීමක සිටියත් එය ආණ්ඩු පෙරළියක් දක්වා ගෙන යෑමට හැකි වාතාවරණයක් රට තුළ තවමත් නිර්මාණය වී නැත.

එහෙයින් 2024 දී එක්වරම ජනාධිපතිවරණයකින් රටේ ඡන්ද හැසිරීම උරගා බලනවාට වඩා මහමැතිවරණය ඊට කලින් පැවැත්වීම ආණ්ඩුවේ පැත්තෙන් උපක්‍රමශීලී පියවරකි. එමෙන්ම අපේ රටේ ඡන්ද දායකයින්ගේ හැසිරීම අනුව එය සාර්ථක වීමට ද ඇත්තේ ඉහළ සම්භාවිතාවකි.


කෙසේ වුවද ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල ඇති බලය එසේම රඳවා ගෙන මහමැතිවරණය පැවැත්වීමෙන් වාසි සහගත තත්ත්වයක් උදාකර ගැනීම ආණ්ඩුවේ අභිප්‍රාය වී තිබෙන බැවින් සහ පළාත් සභාද වසර කිහිපයක් තිස්සේ අක්‍රිය වී ඇති බැවින්ද එක්වරම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර පළාත් පාලන ආයතන විසුරුවා හැර පාර්ලිමේන්තුවද විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට යාමෙන් ප්‍රාදේශීය වශයෙන් සහ පළාත් වශයෙන් බලය අහිමි තත්ත්වයක් තුළ ආණ්ඩුවට කියන පරාජයත් අත්වනු ඇති බවට ආණ්ඩුවට පක්ෂපාතී දේශපාලන විශාරදයින්ගේ මතය වන බැවින් ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් බලය රැකගෙනම මධ්‍යගත බලය මුදාහැර යළිත් ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් බලය යොදවා ආණ්ඩුවේ ජයග්‍රහණය සපුරා ගැනීම වඩාත් උචිත බවටද අදහස් ප්‍රකාශ වී තිබෙන බැවින් ආණ්ඩුව මේ තීරණයට එළැඹී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
එසේම 2024 වසරේදී පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණය කුමන අයුරකින්වත් ඉන් පෙරාතුව පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් මහ මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වා ආණ්ඩුවට එරෙහිව ජනමතය පෙරට පැමිණිය හොත් එය මහ මැතිවරණයේදී ආණ්ඩුවට අවාසි සහගතව බලපාන බැවින් මහ මැතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීන්දු කර ඇති බවත් එය ජයග්‍රහණය කරවීමට අවශ්‍ය ජනමතය ආණ්ඩුවට පක්ෂපාතී බවට හරවා ගැනීම සදහා ඇති එකම පිළියම ලෙස 2023 අයවැය යෝජනා මගින් ආණ්ඩුව විසින් ජනතාවට ආකර්ෂණීය ජනප්‍රිය සහන මලු අසීමිත ලෙස අදහාගත නොහැකි ලෙස ලබා දීමටත් තීරණය කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරණු ලබයි.


කෙසේ වුවද ඉන්දියාවේ බලපෑම මත නියත ලෙසම පැවැත්විය යුතු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීන්දු කර ඇත්තේද මහමැතිවරණය පවත්වා ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව බවද එම දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කරයි.
එකක් තමන් ළග තබාගෙන එකක් මුදාහැර පසුව එය තමන් වෙත ලබාගෙන ළඟ තබාගෙන තිබූ එක මුදා හැරීම මෙතෙක් පැවැති සියළුම ආණ්ඩුවලින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය බැවින් එම ප්‍රතිපත්තියම මෙම ආණ්ඩුවද අනුගමනය කිරීමට ඇති ඉඩකඩ වැඩි වන්නේ තමන් සතු බලය අතහැර දැමීමට කිසිදු පාලකයකු හෝ ආණ්ඩුවක් සූදානම් නැති බැවින් යෑයි දේශපාලන විශාරදයෝ පවසති.
කෙසේ වුවද ආණ්ඩුවේ ජනප්‍රියත්වය රැකගැනීමේ හෝ නොගැනීමේ තීරක බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයාට බවද ඔහු එය 2023 අයවැය යෝජනාවලියෙන් මනාව ඔප්පුකරමින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය සනාථ කරවනු ඇති බව ආණ්ඩුවේම ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මතයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles