Friday, January 24, 2025

කෝටි 100ක වාලම්පුරි සෙල්ලමක්‌ අසුවෙයි

ඉකුත් දිනක පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාට ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකුගේ මාර්ගයෙන් යම් සිද්ධියක්‌ සම්බන්ධව ඔත්තුවක්‌ ලැබෙන්නේය. දුරකථන මාර්ග හරහා අධ්‍යක්‍ෂවරයා අමතන ඔත්තුකරු විසින් පවසා ඇත්තේ රුපියල් කෝටි 100 ට අලෙවි කිරීම පිණිස ට්‍රයිටන් කුලයට අයත් මුහුදු බෙල්ලෙකුගේ කවචයක්‌ සහ වටිනා ගජ මුතු දෙකක්‌ වෙන්නප්පුව ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක ඇති බවය. එය පූජකවරයකු සතුව පවතින බවටද ඔත්තුකරු විසින් වැඩිදුරටත් පවසා ඇත.

තමන් වෙත ලැබුණු තොරතුරු පිළිබඳව විමසිලිමත් වන සහකාර පොලිස්‌ අධිකාරීවරයා ඒ පිළිබඳව සිය නිලධාරීන් දැනුවත් කරන අතර ඔවුන් වෙත උපදෙස්‌ දෙමින් පවසා ඇත්තේ කුමන උපායක්‌ හෝ යොදවා මෙම ජාවාරම සහ අදාළ පුද්ගලයන් පොලිස්‌ අත්අඩංගුවට ගත යුතු බවකි.

වැටලීම ආරම්භ වන්නේ සියල්ල හොඳින් සැලසුම් කිරීමෙන් අනතුරුවය. ඒ සඳහා උපාය දූතයකු ලෙස කටයුතු කිරීම සඳහා පොලිස්‌ කොස්‌තාපල්වරයෙකු තෝරා ගන්නා ඉහළ නිලධාරීන් දෙදෙනා ඔහුට ගනුදෙනුවේ අතර මැදියකු ලෙස කටයුතු කරන මෙන් උපදෙස්‌ ලබා දෙන ලදී.

ඒ අනුව ඔත්තුකරු හරහා ලැබුණු දුරකථන අංකය පොලිස්‌ කොස්‌තාපල්වරයාට ලබා දෙමින් සහකාර පොලිස්‌ අධිකාරිවරයා පවසා ඇත්තේ පළමුව මෙම ජාවාරම සිදු කරන පූජකවරයා යෑයි කියා ගන්නා පුද්ගලයා සමඟ හිතවත්කමක්‌ ගොඩනඟා ගන්නා ලෙසය.

තමන් වෙත ලැබුණු දුරකථන අංකය ඔත්තුකරු වෙත ලබා දෙන කොස්‌තාපල්වරයා පළමුව ඔත්තුකරු වෙත පවසා ඇත්තේ ජපන් ව්‍යාපාරිකයකුගේ මෙරට ඒජන්තවරයා ලෙස තමන්ව හඳුන්වා දෙන ලෙසය. ඒ අනුව ඔත්තුකරු විසින් පූජකවරයාට ඇමතුමක්‌ ලබා ගනිමින් පවසා ඇත්තේ තමන් හොඳින් හඳුනන පුද්ගලයකු සිටින බවත් ඔහු ට්‍රයිටන් මුහුදු බෙල්ලන්, ගජමුතු වාලම්පුරි ආදිය ඉහළ මිල ගණන් යටතේ ජපන් ජාතිකයන්ට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන බවත්ය. ඔහුට පූජකවරයා මුණගැසීමට අවශ්‍ය බව ද ඔත්තුකරු විසින් වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව ඉකුත් 02 දා ඔත්තුකරු සමඟ මීගමුවට පිටත්ව යන පොලිස්‌ කොස්‌තාපල්වරයා මීගමුව ප්‍රදේශයේදී පළමු වරට පූජකවරයා මුණගැසී ඇත. එහිදී ජපන් ජාතිකයකුගේ මෙරට ඒජන්තවරයා ලෙස රංගනයක යෙදෙන කොස්‌තාපල්වරයා, පූජකයා අමතමින් කියා සිටින්නේ “ජපනාට” මිල ගණන්වල ගැටලුවක්‌ නොමැති බවත් ඔවුන්ට අවශ්‍ය ආකාරයේ “බඩු” පූජකවරයා සතුව ඇත්නම් ඕනෑම වේලාවක “ගනුදෙනුව” නිමා කළ හැකි බවත්ය. ඒ වන විටත් තමන් පොලිස්‌ ඇසට අසු වී ඇති බව නොදත් පූජකවරයා අවසානයේදී පවසා ඇත්තේ ඉකුත් 04 දා ගනුදෙනුව සිදු කළ යුතු බවත් ඒ සඳහා මුදල් ද රැගෙන ජපන් ජාතිකයා පැමිණිය යුතු බවත්ය. එම කතා බහ අතරතුර පූජකවරයා තමන් සතුව පවතින තවත් මුහුදු බෙල්ලන් රාශියක්‌, වාලම්පුරි කීපයක්‌ සම්බන්ධවද “අතරමැදියාගේ” භූමිකාව රඟ දක්‌වන කොස්‌තාපල්වරයාට වැඩි විස්‌තරද සපයා ඇත.

gajamuthuමීගමුවේදී ඔත්තුකරු මාර්ගයෙන් සිදු වූ ” හමුව” සාර්ථකව නිමා කළ කොස්‌තාපල්වරයා නැවත තම ඒකකය වන පානදුර වලාන දූෂණ මර්දන ඒකකයට පැමිණ එදින සිදු වූ “හමුව” පිළිබඳ තම ඉහළ නිලධාරීන් දැනුවත් කරන්නේ ඉන් අනතුරුවය.

සැකකරු සමඟ ට්‍රයිටන් මුහුදු බෙල්ලන් ඇතුළු ගජමුතු පොලිස්‌ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සැලසුම් කරන්නේ ඉන් අනතුරුවය.

ඉකුත් 04 දා ඒ සඳහා කණ්‌ඩායම් දෙකකින් යුත් නිලධාරීන් පිරිසක්‌ වෙන්නප්පුව බලා පිටත්ව යන්නේය. “අතරමැදියාගේ” භූමිකාවට පණ දෙන පොලිස්‌ කොස්‌තාපල්වරයා සමඟ තවත් පොලිස්‌ නිලධාරියෙක්‌ හා ඔත්තුකරු එක්‌ වාහනයකත්, තවත් නිලධාරීන් පිරිසක්‌ වෙනත් වාහනයකත් මෙහෙයුම සඳහා පිටත්ව යන අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ කාර් රථයක්‌ සහ වෑන් රථයක්‌ය.

වෑන් රථය තුළ පොලිස්‌ කොස්‌තාපල්වරු දෙදෙනා සහ ඔත්තුකරු පිටත්ව යන්නේ පළමුව පූජකවරයා මුණගැසී අලෙවිය පිණිස ඇති “තහනම් භාණ්‌ඩ” පිළිබඳ ඇත්ත තත්ත්වය සොයා බැලීම පිණිසය. ඒ අනුව මීගමුව ප්‍රදේශයට යන ඔවුන් ඒ ආසන්නයේදී පූජකවරයාට දුරකථන ඇමතුමක්‌ ලබා ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ” බිස්‌නස්‌ එක” සඳහා පැමිණෙමින් සිටින බවත් ගනුදෙනුව සිදුවන්නේ කුමන ස්‌ථානයේද? යන බවත්ය. එයට පිළිතුරු දෙමින් පූජකවරයා සඳහන් කර ඇත්තේ ලුනුවිල නගරයෙන් වමට ඇති පාරක්‌ දිගේ මඳ දුරක්‌ පැමිණි පසු හමුවන පල්ලියක්‌ සමීපයට පැමිණෙන ලෙසත් තමන් එහි රැඳී සිටින බවත්ය.

ඒ අනුව ක්‍රියාත්මක වන පොලිස්‌ කොස්‌තාපල්වරයා සහ ඔත්තුකරු වෑන් රථයේ නැගී ඒ අසලට යන විටත් පූජකවරයා මඟ බලමින් සිට ඇත්තේ ගනුදෙනුකරුවන් තමන් වෙත පැමිණෙන තෙක්‌ය.

ඒ අනුව පල්ලිය සමීපයේ පිහිටි නිවසක්‌ වෙත අමුත්තන් කැඳවාගෙන යන පූජකවරයා ඔවුන්ගෙන් විමසා සිටින්නේ “ජපන් ජාතිකයා” නොපැමිණියේ මන්ද යනුවෙන්ය.

එම පැනයට පිළිතුරු දෙන ” අතරමැදියා” හෙවත් පොලිස්‌ කොස්‌තාපල්වරයා ප්‍රකාශ කර සිටින්නේ රුපියල් කෝටි 100 ක්‌ වැනි අති විශාල මුදලක්‌ සහිතව එකවරම පැමිණීමට “ජපනා” තුළ කැමැත්තක්‌ නොමැති බවත් ඔහු වෙනත් වාහනයක මුදල් රැගෙන පැමිණෙමින් සිටින බවය.

ඒ අනුව ක්‍රියා කරන පූජකවරයා තමන් සතු ” සම්පත්” එකින් එක අතරමැදියා ලෙස වෙස්‌වළාගත් පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ දැක බලා ගැනීම පිණිස ඉදිරිපත් කරන්නේ ඉන් අනතුරුවය.

පළමුව ගජමුතු දෙකක්‌ පෙන්වා ඇති පූජකවරයා එය රුපියල් ලක්‍ෂ 30 ක්‌ මිල කොට පවසා ඇත්තේ එය තමන් වෙත පරම්පරාවෙන් උරුම වූ වස්‌තුවක්‌ බවය. දෙවනුව එළියට ගෙන ඇත්තේ කෝටි 100 ක්‌ පමණ වටිනාකමින් යුත් යෑයි සඳහන් ට්‍රයිටන් මුහුදු බෙල්ලාගේ කවචයක්‌ය. දෙපිරිසේ මුණ ගැසීම සිදුවන්නේ රුපියල් කෝටි 100 ක මිලට එම කවචය අලෙවි කිරීම පිණිසය. පූජකවරයා අවසානයේදී සඳහන් කර සිටින්නේ “බඩු” පිළිබඳ සෑහීමකට පත් විය හැකිනම් ගනුදෙනුව නිමා කිරීම පිණිස ” ජපනා” එම ස්‌ථානයට කැඳවන ලෙසය.

walmpuriසියල්ල හොඳින් නිරීක්‍ෂණය කරන වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරියා මෙහෙයුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතුරුවය. ජපන් ජාතිකයා අමතන අයුරින් දුරකථන ඇමතුමක්‌ ලබා ගන්නා පොලිස්‌ කොස්‌තාපල්වරයා උස්‌ හඬින් ප්‍රකාශ කර ඇත්තේ තමන් “බඩු” පරීක්‍ෂණා කළ බවත් ගනුදෙනුව නිමා කිරීම පිණිස රුපියල් කෝටි සියයත් රැගෙන පල්ලිය අසල නිවසට පැමිණෙන ලෙසත්ය.

ඒ අනුව එතෙක්‌ වේලා කාර් රථයට වී අතරමඟ රැදී සිටි පොලිස්‌ නිලධාරීන් පිරිස ඔවුන් වෙත ලබාදුන් තොරතුරු ඔස්‌සේ පූජකවරයාගේ නිවසට පැමිණ ඇත. පූජකවරයා අන්දමන්දව යන්නේ ඉන් අනතුරුවය. පොලිස්‌ නිලධාරීන් දුටු සැණින් පූජකවරයා පැන යන්නට උත්සාහ දරා ඇත්තේ තමන් පොලිස්‌ දැලට කොටු වී ඇති බව සැකහැර දැන ගැනීමත් සමඟය. පූජකවරයා පැන යැමට උත්සාහ දරනවාත් සමඟ වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරියා සහ ඔහුගේ මිතුරා ලෙස පෙනී සිටි තවත් පොලිස්‌ නිලධාරියකු විසින් පූජකවරයා තම ග්‍රහණයට ගන්නේ ඔහුට කිසිවක්‌ කර කියාගත නොහැකි අයුරින්ය.

අනතුරුව පොලිසිය විසින් පූජකවරයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම තුළදී පූජකවරයා පවසා ඇත්තේ කල්පිටිය ප්‍රදේශයෙන් මුහුදු යන ධීවරයන් විසින් මුහුදු කවච තමන් වෙත ලබා දුන් බවත් ගජමුතු දෙක වෙනත් පිරිසක්‌ විසින් තමන්ට ලබා දුන් බවත්ය. අනතුරුව මාරවිල පොලිසිය මගින් පූජකවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 9 දා දක්‌වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කොට ඇත.

මෙම මෙහෙයුම වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ පූර්ණ උපදෙස්‌ මත එම ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ මහතාගේ මෙහෙය වීමෙන් උ. පො. ප. සරත් ධර්මසිරි, පො. සැ. 5083 ජයරරත්න පො. කො. 428 ජයලත්, පො. කො. 76176 සදිශ්, පො. කො. 77146 මුණසිංහ, පො. කො. 78228 එරංග, පො. කො. (2921) පද්මසිරි, පො. කො. රි. (89859) පුංචිහේවා යන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles