Tuesday, September 24, 2024

සැමියා පැනලා ගිය නිසා ඇපය ගෙවා ගන්න බැරි වුන බිරිඳ මාස 6ක් හිරේ

ද්ගලයකුට පහර දීමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් වූ සිය සැමියා වෙනුවෙන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මුදලක් තැබූ කාන්තාවකට මාස 6 කට සිර ගත වීමට සිදු වූ අනුවේදනීය සිද්ධියක් බළන්ගොඩ අධිකරණයෙන් වාර්තා වේ.

ගම්පොල ප‍්‍රදේශයේ පදිංචිකාරියක වූ තැඹිලිගල පිල්ලෑවේ වෙදරාලලාගේ සේපාලිකා සමන්මලී (24) මීට වසර කිහිපයකට ඉහතදී බළන්ගොඩ වෙලේකුඹුර පදිංචි වලේගොඩ අලංකාරගේ නුවන් පුෂ්පකුමාර යන අය සමග විවාහ ගිවිස ගත්තේ දෙදෙනා අතර හටගත් පේ‍්‍රම සම්බන්ධයකින් පසුවය.

කලක් ගත වීමෙන් පසුව මේ දෙදෙනාට දාව පිරිමි දරුවන් දෙදෙනෙකු බිහිවූහ. මේ වන විට එම දරුවන් වයස අවුරුදු දෙක හා තුන වයස්වල පසුවෙති.නුවන් පුෂ්පකුමාර යන අය මීට වසරකට පමණ ඉහතදී ප‍්‍රදේශයේ කිසියම් පුද්ගලයකු සමග ආරවුලක් ඇති කර ගත් බව ඥාතීහු ප‍්‍රකාශ කරති.ඒ අනුව බළන්ගොඩ පොලිසිය මගින් නුවන් යන අයට විරුද්ධව බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරන ලදී.

නඩු දිනයේදී ඔහුට ඇප නියම විය. ඇපය වූයේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයකි. ඒ අනුව සිය බිරිඳ වූ සේපාලිකා දෙවරක් නොසිතා රුපියල් ලක්ෂයේ ශරීර ඇපය තැබුවාය.

කාලය මෙසේ ගත වෙද්දී නුවන් රැකියාවක් සඳහා කොළඹ ප‍්‍රදේශයට හෝ වෙනත් ප‍්‍රදේශයකට ගිය බව ඥාතිහු සඳහන් කරති. ඔහු රැකියාවට ගිය දා සිටම මේ දක්වා ආපසු නිවසට පැමිණි නැත. ඉන්න තැනක් ද ඥාතින් දන්නේ නැත. මේ අතරතුර ඔහුගේ නඩුව කැඳවිණි. ඔහු අධිකරණයට ඉදිරිපත් නොවූ නිසා ඇපකාරිය වූ සේපාලිකාට කිහිපවරක් අධිකරණයේ පෙනී සිටින්නට සිදු විය.

කෙසේ වෙතත් දිගින් දිගටම සැකකරු අධිකරණය මඟ හැර යෑම හේතුවෙන් අවසානයේ අධිකරණයේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් ශරීර ඇපය තැබූ සේපාලිකාට බන්ධනාගාර ගතවීමට සිදු වූවාය. ඇයට එසේ බන්ධනාගාරගත වීමට සිදු වූයේ ශරීර ඇපයට තැබූ රුපියල් ලක්ෂයක මුදල ගෙවා දැමීමට නොහැකි වූ නිසාය.

ඒ අනුව පසුගිය (19 දා දින ඇය කුරුවිට බන්ධනාගාරය වෙත රැගෙන ගියාය. කිසිම වරදක් නොකළ ඇයට බන්ධනාගාරගත වීමට සිදු වූයේ තම පුරුෂයා පිළිබඳව විශ්වාස කර තැබූ ශරීර ඇපය නිසාය.

ඇය බන්ධනාගාරගත වීමෙන් ඉතා අසරණ තත්වය පත්ව ඇත්තේ ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙනාය. එක් දරුවකු මව්කිරි බොන බව ද ඥාතීහු සඳහන් කරති. රුපියල් ලක්ෂයේ ශරීර ඇපය නොගෙවීම හේතුවෙන් ඇයට හිමි වී ඇති සිර ද`ඩුවම මාස හයක සිර දඩුවමකි.

මේ ලිපිය කියවන පාඨකයින්ගෙන් ඥාතින් ඉල්ලා සිටින්නේ රුපියල් ලක්ෂයේ දඩ මුදල ගෙවා දැමීමට උදව් උපකාර කරන ලෙසය. ඇතැම් නඩුවල දඩ මුදල් රුපියල් ලක්ෂ ගණනින් ගෙවා දැමීමට මෙරට පුද්ගලයින් මුදල් එකතු කළ අවස්ථා එමට තිබේ.

එබැවින් මේ රටේ දරුවන් සිටින මව්වරුන්ගෙන්, පියවරුන්ගෙන් ඥාතින් ඉල්ලා සිටින්නේ දරු දෙදෙනාගේ නාමයෙන් මෙම මුදල ගෙවා දැමීමට ඉදිරිපත් වන ලෙසටය.
මේ වන විට එම සිද්ධිය හේතුවෙන් වයස අවුරුදු දෙක හා තුන වයසේ දරුවන් දෙදෙනාට මවගේත් පියාගේත් සෙනෙහස අහිමි වී ඇත.

මෙම තත්ත්වය මත දරුවන් දෙදෙනා බලා ගැනීමේ කාර්යය සේපාලිකාගේ මව වන ටී.ඩබ්ලිව්.පී. පද්මාවතී නමැත්තියට පැවරී ඇති නමුත් ඔවුන්ගේ පවුලේ ආර්ථික තත්ත්වයද ඉතා පහළ මට්ටමක පවතී. ඇයද මෙම දරුවන් දෙදෙනා සමග කුලී නිවසක මේ වන විට ජීවත් වෙයි.
මේ සම්බන්ධයෙන් අසල නිවෙස් හිමියන් ද අපවෙත අදහස් දැක්වූයේ මෙසේය.

බළන්ගොඩ වෙලේකුඹුර පදංචි ආර්.එම්.අජිත් මහතා
මෙහි තීතිමය තත්ත්වය පිළිබඳව බළන්ගොඩ නීතිඥ සංගමයේ සභාපති අධිනීතිඥ නිල නොලත් මහෙස්ත‍්‍රාත් දේශබන්දු සූරියපටබැඳි මහතාගෙන් විමසීමක් කළෙමු.

තම සැමියා බේරා ගැනීමට ඇප අත්සන් කළ බිරිඳට යම් හානියක් සිදු වී තිබෙනවා. බොහෝ දෙනා ඇප අත්සන් කිරීම ගැන මනා අවබෝධයක් නැහැ. එම ගිවිසුම් පතේ ඇති කොන්දේසි ගැන ද අවබෝධයක් නැහැ. එවැනි තත්ත්වයන් හමුවේ චූදිතයා ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් ඇපකරුට හෝ ඇපකාරියට මුදල ගෙවීමට හෝ සිර දඬුවම් විඳීමට සිදු වෙනවා.

එනමුත් මෙම දඬුවමට ලක් වූ කාන්තාවට කුඩා දරුවන් දෙදෙනෙකු සිටින බැවින් මානසික රෝගී තත්ත්වයක් නිසා මාස ගණනාවක් ඇය ප‍්‍රතිකාර ගන්නා බවත් පවුලේ ආර්ථිකයේ ඇති ඌණතාවන් අධිකරණට වාර්තා වී නැහැ. එසේම මෙම කාන්තාවගේ සැමියා අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් නොකිරීමට පිළිගත හැකි කරුණු අධිකරණයට වාර්තා කළා නම් මෙම කාන්තාවට යම් සහනයක් ලබා ගැනීමට ඉඩකඩ තිබුණා. මෙම කුඩා දරුවන් දෙදෙනා රැකබලා ගැනීමට සිටින ආච්චි රෝගී තත්ත්වයෙන් පසුවන බවද දැන ගැනීමට ලැබී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles