Friday, October 18, 2024

නිවසට ගලක්‌ පෙරළී 7 හැවිරිදි දැරිය නිදි යහනේම මියයයි

පේරාදෙණිය ගලහා මාර්ගයේ මහකන්ද හල්ඔය ප්‍රදේශයේ නිවසක්‌ මතට ගලක්‌ පෙරළී යැම හේතුවෙන් කුඩා දැරියක මියගොස්‌ ඇති අතර, ඇගේ මිත්තනිය තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.

පවතින අධික වර්ෂාව සමඟ මෙම විපතට ලක්‌ව මියගොස්‌ ඇත්තේ ඩී. එම්. උදාරි සෙහාරා තිලකරත්න නමැති හත් (7) හැවිරිදි දැරියකි. ඇය හිඳගල සීවලී මහ විද්‍යාලයේ 2 වන වසරේ ඉගෙනුම ලැබුවාය.

පෙරේදා (28 දා) රාත්‍රි 8.00 ට පමණ මෙම විපත සිදු වී තිබේ. නිවසේ සාලයේ නිදා සිටි දැරිය වර්ෂාව නිසා සීතල යෑයි පවසා මිත්තනිය සිටි කාමරයට ගොස්‌ ඇගේ ඇඳේ නිදාගෙන ඇති අතර, ඒ අවස්‌ථාවේ මිත්තනිය ඇඳේ වාඩි වී ඇඳුමක්‌ මසමින් සිට ඇත.

නිවසට ඉහළින් ඇති කඳු මුදුනේ සිට පෙරළී ආ ගලක්‌ වහළය ද කඩාගෙන මොවුන් නිදා සිටි ස්‌ථානයට වැටී ඇත. දැරියගේ හිස මතට ගල වැටී ඇති අතර, මිත්තනිය ද බරපතළ තුවාල ලබා ඇති බව පරීක්‍ෂණ පවත්වන පේරාදෙණිය පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට රැගෙන ගියද දැරිය මියගොස්‌ ඇති බව අනාවරණය විය.

වෙනත් දිනවල මෙම ස්‌ථානයේ නිදා ගෙන ඇත්තේ මියගිය දැරියගේ 10 හැවිරිදි සහෝදරයා වන අතර මෙදින ඔහු ඔවුන්ගේ කුඩා නැගණිය නිදි කරවන ස්‌ථානයේ සිටීම නිසා හාස්‌කමකින් මෙන් ඔහු බේරී ඇත.

මොවුන්ගේ නිවසට ඉහළින් තවත් අනතුරුදායක ගල් විශාල ප්‍රමාණයක්‌ ඇති අතර එය ගම්වැසියන්ගේ ජීවිතවලට දැඩි අනතුරක්‌ බව ද ප්‍රදේශවාසීහු පවසති.

ආපදා තත්ත්වය නිසා දැරියගේ දේහය වෙනත් නිවසක තැබීමට සූදානම් කර ඇති අතර ඇගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (30 දා) දහවල් සිදු කිරීමට නියමිතව තිබේ.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. දොළුව සහකාර ප්‍රාදේශීය ලේකම් එස්‌. එස්‌. ප්‍රේමසිංහ මහත්මිය ඇතුළු ග්‍රාම නිලධාරීන් එම ස්‌ථානයට පැමිණ සිටි අතර, දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගඟවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්‌ව භූ විද්‍යා පතල්a කාර්යාංශය සමඟÊමෙම ආපදා තත්ත්වයන් සොයා බැලීමට කටයුතු යොදා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles