Friday, September 20, 2024

ඒ දේ වෙනකොට අපේ අයියත් ගෙදර හිටියා.. – ප‍්‍රදීප් රංගනගේ බිරිඳ

වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ගායන තරුවක් ලෙස පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් ප‍්‍රදීප් රංගනගේ ආදරණිය බිරිඳ චතුරිකා ප‍්‍රසාදිනී සතිඅන්ත පුවත්පතකට ඔවුන්ගේ ආදර කතාව විස්තර කර තිබුණා. එම සංවාදය පහතින්.

කොහොමද ප‍්‍රදීප් රංගනව මුලින්ම හඳුනාගන්නේ ?

අපේ පුංචිගේ දුවගේ බිග් ගර්ල් පාටි එකේදී.

ඒ දවස ගැන මතකද කොහොමද?

ඒ සිද්ධිය වුණේ 2006 දි වගේ. මම අපේ අම්මා තාත්තා අයියලා ගෙදර හැමෝම පාටි එකට ගියා. ඒ වෙද්දි මම සාමාන්‍යපෙළ පන්තියේ. ප‍්‍රදීප් උසස් පෙළ පන්තියේ වගේ හිටියේ. අපේ පවුල් අතරේ ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. හිතවත් කමක් තිබුණා. කොහොම හරි ප‍්‍රදීප් එදා ඒ පාටි එකට ඇවිල්ලා හිටියා. ප‍්‍රදීප් කියන කෙනෙක්ව මං දැනගෙන හිටියේ නැහැ. නමුත් එදා ඇවිල්ලා හිටිය ගොඩක් අය අතරින් මට මෙයාගේ මුණ මතක තිබුණා. එදා අපේ ගෙදර අය එක්ක මෙයා ගොඩක් හිතවත් වෙලා තියෙනවා. ප‍්‍රදීප්ගේ අක්කා එහෙමත් මං එක්ක හිතවත් වුණා. ඒත් ප‍්‍රදීප්ට කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඒ සිද්ධියෙන් පස්සේ ආපහු ප‍්‍රදීප්ව චතුරිකාට මුණගැහෙන්නේ කොහොමද?

ප‍්‍රදීප් එදා පාටි එකේදී මාව දකින්න කලින් අපේ මාමා කෙනෙක් මං ගැන විස්තර එයාට කියලා තිබිලා තියෙනවා. මෙයා මං ගැන විස්තර හොයලා තිබුණෘ. එයා මාව දකින්නම තමයි බලන් ඉඳලා තියෙන්නේ. පාටි එකට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසාමයි කියලා මං දැනගත්තෙත් පස්සේ. මාස පහකට හයකට විතර පස්සේ ප‍්‍රදීප් හිටිහැටියේ අපේ අයියලා එක්ක ගෙදර ආවා. ඒ වෙද්දී මට එයා ගැන ලොකු මතකයක් තිබුණේ නැහැ. අයියලා එක්ක හිතවත් වෙලා තිබුණෙත් මාව යාළුකරගන්න  ඕනි නිසා තමයි. (සිනහවෙමින්)

කොහොමද දෙන්නා අතරේ හිතවත්කමක් ඇති වුණේ ?

අයියගේ යාළුවෝ ගෙදර ආවම ඉතින් තේ හදලා දෙනවනේ. වෙනදා අම්මා ඒ දේවල් කළේ. එදා අපේ චූටි අයියා කිව්වා ඔයා ගිහින් තේ එක දෙන්න කියලා. මට එදා විශේෂයක් දැනුණා. පොඩි මතකයකුත් තිබුණනේ. අයියා මටම යන්න කියද්දී පොඩි සැකයකුත් ආවා. තේ එක දුන්නම ඒ එක්කම ප‍්‍රදීප් ටේ‍්‍ර එක අස්සෙන් මට ලියුමක් දුන්නා. මට හිතාගන්න බැහැ දැන් මේක. පොඩි නිසා බයයි. මං ගියපු ගමන් ඒක අපේ චූටි අයියට දීලා කිව්වා මෙන්න මොකද්ද දන්නේ නැහැ දුන්නා ඔයා බලන්න කියලා. අයියා කිව්වා මට බලන්න කියලා. අයියා එහෙම කිව්වම නොබලා බෑනේ. මං බැලුවා.

ලියුමේ ලියලා තිබුණ දේවල් මතකද ?

ඒ ලියුමේ පිටු 16 ක් තිබුණා. ”ඔයා තවම පොඩි ළමයෙක්. ඒ වුණාට ඔයාට හිතන්නවත් බැරි තරමට මං ඔයාට ආදරේ කරනවා. ඔයාගේ වයස එක්ක ඒ දේ තවම තේරෙන්නේ නැහැ. ඒ නිසා මං මෙහෙම කිව්වට කලබල වෙන්න එපා. මං මේ කිව්ව දේ හිතේ තියාගන්න. මේ දේ ගැන ඔයාගේ අයියත් දන්නවා. ” කියලා ගොඩක් දේවල් ලියලා තිබුණා. එයාට කැමැතිද කියන එක අහලා තිබුණා.

ඉතින් චතුරිකා ප‍්‍රදීප්ගේ ඒ යෝජනාවට කැමැත්ත දුන්නද ?

මුලින්ම කැමැතියි කිව්වේ නැහැ. චුටි අයියගෙන් ඇහුවා. එයා කිව්වා ඉතින් ඔයා කැමැති දෙයක් හිතලා කියන්න. හැබැයි ඉගෙන ගන්න දේවල්වලට බාධාවක් වෙන්න බැහැ කියලා එයා උදව් කළා. පස්සේ මමත් එයාට පිටු 18 ක පිළිතුරු ලියුමක් දුන්නා. කැමැතියි නොකියා මම කිව්වා. මගේ අධ්‍යාපන වැඩත් එක්ක මගේ වයස එක්ක තවම මේ දේවල් ගැන හිතන්න බැහැ. ඔයා මේ ගෙනාව යෝජනාව ගැන තව වතාවක් හිතන්න. මට නම් උත්තරයක් දෙන්න තවම බැහැ කියලා. ඒ වුණාට ඉතින් කතාබහ තිබුණා අපි එක්ක.

ප‍්‍රදීප් – රංගන ගැන කැමැත්තක් ඇති වෙන්න විශේෂ හේතුවක් තිබුණද ?

රංගන ගැන මුකුත්ම නොදන්න කාලේ එයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියන එක මං දැනගෙන හිටියා. මං ඒවා අහලා තිබුණා. මං ඒ කටහඬට ගොඩක් කැමැත්තෙන් හිටියා.

ප‍්‍රදීප් – ඒ කැමැත්ත ආදරයක් වෙන්නේ කොහොමද ?

ඉඳලා හිටලා ඒ දවස්වල අපි කතා බහ කළා. මම සාමාන්‍ය පෙළවත් කරලා තිබුණෙත් නැහැ. අම්මට තාත්තට වඩා මං අයියලාට බයයි. ඉතින් ඒ දෙවල් එක්ක මං ඉගෙන ගන්න වැඩවලට මුල් තැන දුන්නා. ප‍්‍රදීප් මට කිව්වා එයා  ඕන තරම් කාලයක් බලන් ඉන්නම් කියලා. ඒ විශ්වාසය එක්ක අපි සාමාන්‍ය විදියට සෑහෙන කාලයක් හිටියා. සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙනකල්ම වගේ අපිට දකින්නවත් ලැබුණේ නෑ. ඒ අතරවාරේ ලියුම් හුවමාරු වුණා. හොරෙන් කතා කළා. ඒ අතරවාරයේදී රංගන කැම්පස් තේරුණා. මම උසස්පෙළ පන්තියේ. කැම්පස් තේරුණාට පස්සේ, මමත් උසස්පෙළ පන්තියේ. කොහොම හරි අවුරුදු හතරකට විතර පස්සේ රංගන ආපහු අපේ ගෙදර එනවා අපේ ගෙදර අයට අපි දෙන්නා ගැන කියන්න. ඒ වෙද්දි කතා බහ එක්ක අපට නොදැනීම කතා බහ ආදරයක් බවට පත්වෙලා තිබුණේ.

ඉතින් චතුරිකාගේ ඒ තීරණයට ගෙදරින් කැමැත්ත ලැබුණද?

මුලින්ම තාත්තා කැමැති වුණේ නැහැ මං ඉගෙන ගන්නවා ඒ දේවල්වලට බාධාවක් වෙයි කියලා. පස්සේ ඉතින් රංගනත් කතා කළා. ඒ දේවල්වලට බාධාවක් වෙන්නේ නැහැ. අනික දැන් මම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ස්ථාවරක් තියෙනවා කියලා. අපේ අම්ම, අයියලා, අකමැති වුණේ නෑ ටික කාලයක් ගිහින් තාත්තා කැමැති වුණා. ඒ දවස්වල ප‍්‍රදීප් බස් එකේ ගාල්ලේ ඉඳලා මාව බලන්න කෑගල්ලට එනවා. ගෙවල් දෙකෙන්ම ලැබුණු ආශිර්වාදය එක්ක අවුරුදු එකොළහක ආදර කතාවකින් පස්සේ 2015 ජූලි 30 වෙනිදා අපේ වෙඩින් එක අරගත්තා.

ආදරේ කරන කාලේදී මුලින්ම දෙන්නා මුණගැහුණ දවසක් මතකද?

අපි දළදා මාලිගාවට ගියා. යාළු වුණ මුල් කාලේදී වගේ. හැබැයි ගෙදරට හොරෙන්.

චතුරිකා වැඩිපුරම කැමැති වෛද්‍ය ප‍්‍රදීප් රංගනට ද? ඒ ඇතුලේ ඉන්න ගායන ශිල්පි ප‍්‍රදීප් රංගනටද ?

වෛද්‍ය වෘත්තියට මං ගොඩක් ගරු කරනවා. වෛද්‍යවරු කියන්නේ රටට ලොකු සේවයක් කරන පිරිසක්. මගේ අයියත් වෛද්‍යවරයෙක්. ඇත්තටම මං මුලින්ම ආදරේ කරන්නේ රංගනගේ ඒ හඬට. දැන් මට ඉන්නේ සිංදු කියන ඩොක්ටර් කෙනෙක්. එයා මට වීරයන්ගෙත් වීරයෙක්. ඒ හින්දා ඒ චරිත දෙකටම මං ගොඩක් ආදරෙයි සහ කැමැතියි.

චතුරිකා ප‍්‍රදීප්ගේ දකින්න කැමැති සහ අකැමැති ගුණාංග තියෙනවද?

අකැමැතිම දේ තමයි මොනවාහරි පොඩි දෙයක් හරි දුක හිතෙන දෙයක් එයාට දැනුණොත් ගොඩක් දුක් වෙනවා. ආපහු එයාව හරි තැනට ගන්න ගොඩක් මහන්සි වෙන්න  ඕනි. කැමැතිම දේ තමයි මං උයන හැමදේම රසයි කියලා කනවා. මං දන්නවා රස නෑ කියලා. ඒත් එයා රසයි කියලා කනවා. (සිනහවෙමින්)

සාමාන්‍ය පුද්ගලයෙක් විදියට ප‍්‍රදීප් රංගන කියන්නේ මොන වගේ චරිතයක්ද?

ගොඩක් බුද්ධිමත්, ජීවිතේ සැලසුමක් ඇතිව වැඩ කරන, එයා එයාටම දාගත්ත සීමාවන් එක්ක නිහතමානිව ජීවිතේ ඉලක්කවලට යන චරිතයක්.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී රංගන මෙතෙක් ආව ගමන ගැන චතුරිකාට මොකද හිතෙන්නේ?

එයාගේ දක්ෂතාව එක්ක දුකක් ඇතිව එයාගේ ශක්තියෙන් ආව ගමනක්. අද ජීවිතේ ජයගෙන තියෙනවා. එයාගේ අම්මට තාත්තට වගේම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙන්න ඇත්තටම පුළුවන්.

ජීවිතේ ඉදිරි සැලසුම් කොහොමද?

ප‍්‍රදීප් වැඩ කරන්නේ බළන්ගොඩ රෝහලේ. ඉදිරියේදී අපි කොළඹට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ආවම ජීවිතේ ලොකු වෙනස්කම් වෙයි.

උපුටා ගැනීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles