‘කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා හැකියි’

0
792

වනාන්තර හා වනජීවින් වෙනුවෙන් ප‍්‍රකාශයට  පත්කෙරුණු ජාත්‍යන්තර සම්මුතීන් ගණනාවකට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බැවින් එකී සම්මුතීන්වලට එරෙහිව කැලෑ විනාශ කරන්නන් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන යා හැකි යැයි විල්පත්තුව සුරකිමු සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

විශේෂයෙන් විල්පත්තුව වනාන්තරය ජාත්‍යන්තර තෙත් බිම් පිළිබඳ රැම්සා සම්මුතියට අත්සන් කර ඇති බැවින් විල්පත්තුව පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි  කළ හැකි යැයි ද උන්වහන්සේ කීහ.

විල්පත්තුවට උතුරින් ඇති පූකුළම් කැලෑව ජනාවාස කිරීම ගැන පරිසරවේදීන් විරෝධය පළ කිරීමෙන් පසු රංගේ බණ්ඩාර අමාත්‍යවරයා ඔවුන්ට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති බව ද ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.

ආනන්ද සාගර හිමියෝ මේ අදහස් පළ කළේ විල්පත්තුව අපි සංවිධානය විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහි දී තව දුරටත් අදහස් දැක්වූ පාහියන්ගල හිමියෝ මෙසේ ද  පැවැසූහ.

රට වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට නොයෙක් බාධා එල්ලවෙනවා. අපි මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කියන්නේ රටේ හදවත බඳු වනාන්තර විනාශ කරන්නන්ට දඬුවම් දෙන්න කියලයි. පූකුලම් පැරණි සම්ප‍්‍රදායික ධීවර ගම්මානයක් බව ඇත්ත. එහි පවුල් කිහිපයක් ඉන්නවා. ඔවුන්ට බලපත‍්‍ර දිලා තියෙන්නේ කොනදේසි සහිතවයි.

අගමැතිතුමාට අපි කියන්නේ මැතිවරණය ඉවර වෙනතුරු මේ ඇමැතිතුමා අරලියගහමන්දිරයේ ගැට ගහල තියන්න කියලයි. නැත්නම් අවාසි ගොඩක් වේවි. මේ වගේ අය ගැන හොඳින් හොයා බලන්න කියලයි. හාමුදුරුවරු එක්කයි මේ ඇමැතිතුමා පැමිණිලි කරන්න යන්නෙත්.’’ යැයි ද උන්වහන්සේ පැවැසූහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here