Monday, November 25, 2024

උගතුන් තැනීමෙන් දිළිඳුකම පිටුදැකීමට කැප වූ දුර්ලභ රාජ්‍ය තාන්ත්‍රිකයා

දේශපාලනයට ප්‍රවේශ වීමට ඇල්මක්, එසේ නැතිනම් උනන්දුවක් ඇති කවර හෝ පුද්ගලයකුට නිශ්චිත ඉලක්කයකට අනුගත වීම තුළින්, එම අරමුණ වෙත පැමිණ, ‍දේශපාලන වශයෙන් කිසියම් බලයක් අත්පත් කර ගැනීම, එතරම් අපහසු කර්තව්‍යක් නොවේ. එනමුදු ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටක්, ලෝකයේ දියුණුවන රටක් බවට වේගයෙන් පරිවර්තනය කර ගැනීමට නම්, දේශපාලන බලය අත්පත්කර ගනු ලබන පුද්ගලයා සතුව උසස් චින්තනයක්, විඥානයක්, දැනුම් සම්භාරයක් සහ අත්දැකීම් සමුදායක් ද පැවතිය යුතුය.

අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ අමරණීය නාමයක් සටහන් කළ දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාට, ඒ සියලු ගුණාංග ප්‍රමාණවත් පරිදි පැවති බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත. එලෙසින්ම ශ්‍රි ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට කලාතුරකින් පහළ වූ විශිෂ්ට ගණයේ දේශපාලන දර්ශනයකින් යුතු දුර්ලබ ගණයේ ජන නායකයකු ලෙසද ලලිත් ඇතුළත්මුදලි මහතාව හැඳින්වීමට පුළුවන.

වර්ෂ 1936 නොවැම්බර් මස 26 වන දින කොළඹ දී උපත ලද ලලිත් විලියම් සමරසේකර ඇතුළත්මුදලි මහතාගේ පියා, පස්දුන් කෝරළයෙන් බිහි වූ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මතුගම ආසනයේ මන්ත්‍රීවරයකු වූ අධිනිතීඥ දොන් ඩැනියෙල් ඇතුළත්මුදලි මහතා ය. සියනෑ කෝරළේ මුල්ගම්පල ශ්‍රීමණී ගර්ලි සමරසේකර ඇතුළත්මුදලි මැතිනිය එතුමාගේ දයාබර මෑණියෝ ය. කොළඹ 07, කාන්තා විද්‍යාලය ලලිත් ඇතුළත්මුදලි මහතාගේ මුල්ම තක්සලාව බවට පත් වූ අතර, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය ද එතුමාගේ කුඩා කාලයේ ණැනස පෑදිමට උපකාරී වී තිබේ. පසුව ද්වීතියීක අධ්‍යාපනය සඳහා කොළඹ 07, රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ එතුමා එම විද්‍යාලයෙහි අති දක්ෂ ශිෂ්‍යයකු බවට පත්වූයේ, අධ­්‍යාපනය සහ ක්‍රීඩා ජයග්‍රහණ විශාල ප්‍රමාණයකට ද උරුමකම් කියමිනි.

ලලිත් ඇතුළත්මුදලි මහතා සිය උසස් අධ­්‍යාපන කටයුතු සඳහා තෝරාගත්තේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයි. එතුමා එම විශ්වවිද්‍යාලයෙන් බී. ඒ. (ගෞරව) උපාධියත්, එම්. ඒ. (ගෞරව) නිතී විද්‍යාව පිළිබඳ උපාධියත් සමග බී. සී. එල්. (ගෞරව) සිවිල් නිතී උපාධියත් හිමිකර ගනු ලැබුවේ මහත් පරිශ්‍රමක් දරමිනි. එමෙන්ම එතුමා ස්වකීය නිපුණතා පෙන්වීමට ද ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලපරිච්ඡේදය හොඳ අවස්ථාවක් කර ගත්තේ ය. ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙහි භාණ්ඩාගාරික, ලේකම්, පුස්තකාලයාධිපති හා සභාපති යන උසස් ධූරයන් හෙබවූ එතුමා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙහි සභාපති ධූරය දැරූ ප්‍රථම ශ්‍රී ලාංකික පුරවැසියා බවට ද පත් වූවේ ය. එමෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ, එතුමා එම තනතුරු හතරම දැරූ දෙවන ආසියාතික පුරවැසියා වීම ය. එවක විසි එක් වියැති ලලිත් ඇතුළත්මුදලි මහතා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයෙහි සභාපති ධූරය හෙබවූ ළාබාලතම ශිෂ්‍යයා වීම ද තවත් විශේෂත්වයකි. එම විශිෂ්ට වාර්තාව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ලේඛනගත වීමට ද හේතුවක් වී තිබිණි. මේ අතර ඔස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සමුගැනීමේ සාදය අවසාන විවාදය නැරඹීමට එවක බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයාව සිටි හැරල්ඩ් මැක්මිලන් (Harold Macmillan) මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසකගේ සහභාගීවීම, එදා එතුමාට පමණක් නොව, ශ්‍රී ලංකා වාසීන්ට ද අභිමානයක් ගෙනදෙන්නට හේතු විණි. මේ අයුරින් ඉහළ තනතුරු දරමින් නායකත්වයේ ප්‍රතිඵල පෙන්නුම් කළ, ලලිත් ඇතුළත්මුදලි මහතා ඔක්ස්ෆර්ඩ් ආසියානු සංගමයේ සභාපති ධූරය මෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමයේ ආරම්භක සභාපති ධූරය ද හිමි කර ගනු ලැබුවේ, ඔස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශිෂ්ටතම විද්‍යාර්ථියා තමන් වන බව යළියළිත් තහවරු කරමිනි. පසුව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයට ද ඇතුළත් වූ ඒ මහතා එහිදී එල්. එල්. එම්. උපාධිය හිමිකර ගනු ලබන්නේ, විශිෂ්ට සම්මාන සාමාර්ථ­්‍යයන් ද සමඟ ය. එසේම එම උපාධි පාඨමාලාවේ අවසාන විභාගය සඳහා එතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ නිබන්ධනය ද හාවඩ් විශ්වවිද්‍යාලයේ නිබන්ධන සංචිතයට තෝරාගෙන තිබිණි. ලලිත් ඇතුළත්මුදලි මහතා සිංගප්පූරුව ඇතුළු විදේශීය විශ්වවිද්‍යාල කිහිපයකම නිතීය හදාරන විද්‍යාර්ථින් වෙනුවෙන් හරවත් දේශන ගණනාවක් පවත්වා තිබෙන අතර, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ද නිතී විද්‍යාලයට සම්බන්ධ වී, නීති විද්‍යාව පිළිබඳව කථිකාචාර්යවරයකු ලෙස ද ස්වකීය දැනුම ලබාදීමට යුහුසුළු වී තිබේ.

ලලිත් ඇතුළත්මුදලි මහතාගේ අනෙක් වෘත්තීය ජයග්‍රහණයන් අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනිතීඥයකු ලෙස දිවුරුම් දීමත්, ජනාධිපති නිතීඥයකු ලෙස පත්වීමත්, ග්‍රේස් ඉන් හී බැරිස්ටර්වරයකු ලෙස දිවුරුම් දීමත්, විශේෂයෙන් සඳහන් කළ හැකිය. එසේම පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්වවිද්‍යාලවලින් ලබාගත් සාහිත්‍යසූරී උපාධිය ද අධ්‍යාපනික වශයෙන් එතුමා විසින් ලබාගත් තවත් ජයග්‍රහණයන් ය.

මින් ගම්‍ය වන්නේ, ලලිත් ඇතුලත්මුදලි මහතා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වන විට උසස් චින්තනයකින්, විඥානයකින්, දැනුම් සම්භාරයකින් සහ අත්දැකීම් සමුදායකින් සමන්විතව වියතකු වී සිටි බවයි. මේ අනුව එතුමා අපේ රටේ පොදු ජනතාවට සමීප වන්නේ, හිස් මිනිසකු ලෙස නොව ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා ගනු ලැබූ දේශපාලනඥයකු විලසිනි.

ලලිත් ඇතුළත්මුදලි මහතා ස්වකීය දේශපාලන ගමන්මඟ ආරම්භ කරන්නේ, රත්මලාන ආසනය නියෝජනය කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස එතුමා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වෙයි. පසුව වෙළෙඳ හා නාවික, රාජ්‍ය ආරක්ෂක‍, කෘෂිකර්ම, ආහාර හා සමූපකාර, අධ­්‍යාපන හා උසස් අධ­්‍යාපන, වැනි ප්‍රබල අමාත්‍යාංශ ගණනාවකම සේවය කරනු ලැබූ එතුමා, භාරගත් සෑම වගකීමක් ම ඉහළින් ම ඉටුකර දීමට ද යුහුසුලු වී තිබේ. නිදර්ශනයක් ලෙස එතුමා වෙළෙඳ අමාත්‍යවරයාව සිටි සමයේදී, මහපොළ උසස් අධ­්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කළ අතර, එම ශිෂ්‍යත්ව ක්‍රමය විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වන අගහිඟකම්වලින් පෙළුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල සහනයක් අත්කර දුන්නේ ය. විශේෂයෙන් අඩු ආදායම් ලද පවුල්වල දක්ෂ දරුවන් උගතුන් බවට පත් කිරීම වෙනුවෙන් එතුමාගේ එම උදාර සංකල්පය අදටත් අතිශයින් ඵලදායී වී තිබේ.

එමෙන්ම ලලිත් ඇතුළත්මුදලි මහතා වෙළෙඳ හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය භාරගනු ලැබූ අවස්ථාවේදී, කොළඹ වරාය ප්‍රමුඛ ඒ වන විට රට තුළ පැවති සියලු වරායන් හී ක්‍රියාකාරකම් පැවතියේ, තරමක් මන්දගාමී ස්වරූපයකිනි. ඒ අනුව වරාය කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් වර්ෂ 1979 අංක 51 දරණ පාර්ලිමේන්තු පණතකින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපනය කිරීම, අපේ රටේ වරාය ඉතිහාසයේ ‍ ඓතිහාසික සන්ධිස්ථානයක් බවට පත් විය. ‍‍ස්වකීය වෘත්තීය හා දේශපාලන කටයුතු වෙනුවෙන් ඇති තරම් කාලයත්, ශ්‍රමයත් මිලමුදලුත් වැය කළ ලලිත් ඇතුළත්මුදලි මහතා පෞද්ගලික ජීවිතය සරිකර ගැනීමට ද මුල්තැනක් දුන්නේ ය. ශ්‍රීමණී අනෝමා ද සේරම් සමග යුගදිවියට එළඹුණු ලලිත් ඇතුළත්මුදලි මහතා දයාබර පියකු වූයේ, සරළා දියණිය මෙලොව එළිය දැකීමත් සමග ය.

ලලිත් ඇතුළත්මුදලි මහතා සතු වූ බොහෝ අදහස් යහපත් සංකල්පවලින් පෝෂණය වී තිබිණි. ඒ සෑම අදහසකම ගැබ් වී තිබුණේ, පොදු ජනතාවගේ සුභ සිද්ධියට ඉවහල් වූ ඉතාම වැදගත් කරුණු කාරණා ය. එබැවින් එතුමාගේ මෙහෙවර අද දවසේ දී පමණක් නොව, හෙට දවසේදීත් සිහිපත් කිරීම ඉතාම වැදගත් ය. එලෙසින්ම ධෛර්ය සම්පන්න හා අභීතව ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් ලලිත් ඇතුළත්මුදලි මහතා වැනි උදාර ජන නායකයින් අපගේ මාතෘභූමියට තවතවත් පහළ විය යුතුව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles