Saturday, September 21, 2024

රටේ උන්නතිය උදෙසා පැරැණි නීති රෙගුලාසි ඉවත් කරන්න මට ඕනෑ – ජනපති

හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක් යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

ඉන්දියාවේ ප්‍රකට ආරක්ෂක විශ්ලේෂකයකු වන නිතින් ඒ. ගෝකලේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව සඳහන් කර තිබේ.

අදාළ ගිවිසුම නැවත සාකච්ඡා කළ යුතු යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.

නිතින් ඒ. ගෝකලේ මහතා හවායිහි ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ ආදි විද්‍යාර්ථියෙක්, මාධ්‍යවේදියෙක්, ව්‍යවසායකයෙක්, හමුදා ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ රචකයෙක් සහ උපායමාර්ගික කටයුතු පිළිබඳ විශ්ලේෂකයෙක් ද වේ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.

“චීනය අපේ හොඳ මිත්‍රයෙක්. ඒ වගේම සංවර්ධනය සඳහා අපට චීනයේ සහාය අවශ්‍යයි. එහෙත් හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දීම පසුගිය ආණ්ඩුව කළ වරදක්. ඒ ගැන කියන්න මා බිය වෙන්නේ නැහැ. ඒ වගේම ඒ පිළිබඳ නැවත සාකච්ඡා කර අපට සහාය වන නව ගිවිසුමකට එමු යැයි මා යෝජනා කරනවා. මිනිස්සු ඒ ගැන ගිවිසුම ගැන සතුටු නැහැ. අපිට අවුරුද්දක්, දෙකක්, අවුරුදු පහක් ගැන හිතන්න පුළුවන්. එහෙත් අපි අනාගතය ගැන හිතන්න ඕනේ. අනාගතයේ මොකද වෙන්නේ? ආයෝජනය සඳහා පොඩි ඉඩමක් දීම වෙනත් දෙයක්.

හෝටලයක් හෝ වාණිජ දේපළක් සංවර්ධනය කිරීම ප්‍රශ්නයක් නොවෙයි. උපායමාර්ගික ලෙස වැදගත්, ආර්ථික ලෙස වැදගත් වරායක් එලෙස ලබාදීම පිළිගන්න බැහැ. අපි ඒ ගැන නැවත සාකච්ඡා කරන්න අවශ්‍යයි.

මෙහෙයුම් කටයුතු සඳහා පර්යන්තයක් ලබා දීම වෙනස් දෙයක්. හෝටලයක් ඉදිකරන්න යම් තැනක් දීම වෙනත් දෙයක්. එහෙත් වැදගත් තැනක පාලනය ලබාදීම පිළිගන්න බැහැ. එය තමයි මගේ මතය. ඒ වගේම අපි ඉන්දියාව සමඟත් සමීපව වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අපි චීනය සමඟත් වැඩ කරන්න ඕනෑ.

රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා හැමතැනම තියෙනවා. ඉන්දියාව චීනය සමඟ ඉතා සමීපව වැඩ කරනවා. ඉන්දියාවේ ආයෝජන චීනයට යනවා, චීනයේ ආයෝජන ඉන්දියාවට යනවා. ඒ වගේම අපටත් ආයෝජන අවශ්‍යයි. ඒ වගේම අපටත් සහාය අවශ්‍යයි. එහෙත් ඒ වෙනුවෙන් අපි ඕනෑම දෙයක් කරන්න සූදානම් නැහැ. ඒ වගේම හමුදා සහ භූ දේශපාලනික තරගයට සම්බන්ධ වෙන්න අපට වුවමනාවක් නැහැ.

ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය, ඕස්ටේ්‍රලියාව ආදී ලෝක බලවතුන්ට මම තව දෙයක් කියන්න කැමැතියි. ඔබ දන්නවා, ඔවුන් චීන මැදිහත්වීමට බයයි. ඒක තමයි ඇත්ත. චීන මැතිහත්වීම වාණිජ එකක්.

අපි පුංචි රටක්. අපේ ආර්ථිකය දියුණු කරන්න විදෙස් ආයෝජන අවශ්‍යයි. ඒ නිසා ඉන්දියාවට, ජපානයට, සිංගප්පූරුවට සහ ඕස්ටේ්‍රලියාවට ලංකාවට ඇවිත් ආයෝජනය කරන්නැයි මා ආරාධනා කරනවා. චීනයට විතරක් ආයෝජනය කරන්න ඉඩ දෙන්න එපා යැයි මා කියනවා.
ලංකාවට ඇවිත් ආයෝජනය කර අපට උදව් කිරීමට ඒ රටවල පෞද්ගලික සමාගම් දිරිගන්වන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒක රටකට විතරක් ඉතුරු කරලා පස්සේ කෙඳිරි ගාන්න එපා.

මා විවෘතව කියනවා. ඒ නිසා අපේ රටට ඇවිත් ආයෝජනය කරන්න. එය අපට වුවමනායි. අපි පුංචි රටක්, අපි ලොකු අයගේ ප්‍රශ්නවලට සම්බන්ධ වෙන්න ඕනෑ නැහැ. එය තේරුම් ගන්න. අපට පීඩනය එල්ල නොකර අප තේරුම් අරගෙන මේ රටේ ආර්ථික සංවර්ධනය හා සම්බන්ධ වෙන්න.

බොහෝ ක්‍රම තිබෙනවා. සල්ලි විතරක් නොවෙයි, අපේ නිෂ්පාදන ගන්න. අපට තේ, කුරුඳු, ගම්මිරිස්, පොල් තිබෙනවා. ඔබ අපේ කෘෂිකර්මාන්තයට, අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට උපකාර කරන්න. උසස් තාක්ෂණික සමාගම්වල ආයෝජනය කරන්න. බොහෝ අවස්ථා තිබෙනවා. නිලධාරීවාදය කැපිය යුතුයි. රටේ උන්නතිය උදෙසා පැරැණි නීති රෙගුලාසි ඉවත් කරන්න මට ඕනෑ. මම ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කරනවා.” යැයි ද ඔහු සිය සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles