Monday, September 23, 2024

රනිල්ගෙන් කල්මරන්න තවත් කමිටුවක්

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව නියෝජනය වන පරිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පක්ෂයක් ලෙස කිහිපදෙනකුගේ අදහස් පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවත්, ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනාගේම අදහස් සමගින් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කාරියවසම් මහතා මේ බව පැවසූයේ අද (10දා) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

“පක්ෂයක් ලෙස අපි තීරණය කරලා තියෙනවා ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කරා යන්න අවශ්‍ය සම්පූර්ණ ජවය දෙන්න. සියලුදෙනා එකාවන්ව වැඩ කළොත් අපිට 113 හදන්න පුළුවන්. ඉස්සර වගේ නෙමෙයි ජනතාව දැන් වේගයෙන් ප්‍රතික්‍රියා දක්වනවා. පක්ෂයක් විදිහට අපිට ප්‍රශ්න තිබුණා. හැබැයි අපිට ලක්ෂ 55කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. අපි යුගයේ ජනප්‍රියම තරුණ නායකයව ජනාධිපතිවරණයට නම්කළා. එතුමව විපක්ෂ නායක බවට පත්කළා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ විනයක් සහිත පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගන්න පක්ෂයේ නායකතුමා විසින් විශේෂ කමිටුවක් පත්කරලා තියෙනවා. පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳ, නායකත්වය ගැන තීරණ ගන්නේ ඒ කමිටුවෙන්. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා යන සටන අපි මෙහෙයවනවා.” යනුවෙන් පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles