Sunday, September 22, 2024

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොරෝනා බාධාවක් කර ගන්න එපා – ජනාධිපති

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් 19 වසංගතය බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්දී තිබේ.

ඒ අනුව පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි පවසන ජනාධිපතිවරයා මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ බවද සඳහන් කරයි. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතු වන අතර, ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛත්වයදී තිබෙන අතර, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තවත් අරමුණක් වේ.

ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති සැලසුම් වෙන් වෙන්ව ජනාධිපතිවරයා විසින් විමර්ශනය කෙරිණි.

ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles