Monday, September 23, 2024

හිජාස් ඉස්බුල්ලා – පෙත්සම සලකා බැලීමෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඉවත්වෙයි

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවී උපදෙස් ලබාගැනීම සඳහා ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් සලකා බැලීමේ කටයුතුවලින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (10) ඉවත් විය.

හිජාස් ඉස්බුල්ලා මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින නීතිඥ චලන පෙරේරා මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ පෞද්ගලික හේතුවක් මත තමා මෙම පෙත්සම සලකාබැලීමෙන් ඉවත්වන බවය.

ඒ අනුව, මෙම පෙත්සම ලබන 14 වනදා ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකාබැලීම සඳහා කැඳවන බව ද සභාපති විනිසුරුවරයා නියෝග කළේය.

මේ බව දැනුම් දෙමින් වගඋත්තර කරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ වරුන්ට දැනුම් දුන්නා.

පෙත්සමින් සඳහන් කර තිබෙන්නේ රැදවුම්භාරයේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා හමුවීම සඳහා ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසුව මේ දක්වා ඔහුගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවස්ථාව සලසා දී නොමැති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles