Tuesday, September 24, 2024

කොරෝනා හැදුණු මවක් මුල්ලේරියාව රෝහලේදී නිවුන් දරුවන් බිහිකරයි

 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කොරෝනා පොකුරේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග හුදෙකලා බවට පත් කෙරුණු කොළඹ දිස්ති‍්‍රක්කය ඇතුළු ප‍්‍රදේශයන්හි පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ ප‍්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ලැබෙන ප‍්‍රතිඵල යහපත් වුවහොත් එම ප‍්‍රදේශවල හුදෙකලා බව ඉවත් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.
 
 මේ වන විට ඇතැම් බොහෝ ප‍්‍රදේශ හුදෙකලා බවට පත් කර මාස දෙකකට ආසන්න කාලයක් ඉක්ම ගොස් ඇති අතර ඉකුත් දිනවල එසේ හුදෙකලා කර තැබීමට එරෙහිව ජනතා විරෝධතා ද මතුවිය.
 
 මෙරට තුළ පෙරේදා දිනයේ අලූතින් කොරෝනා ආසාදිතයන් 538 දෙනකු හඳුනාගෙන තිබිණි. මේ අතරින් 304 දෙනකුම කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා විය.
 
 එසේ වුවද එයිනුත් වැඩිම ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන තිබුණේ බොරැල්ල සහ මට්ටක්කුලිය ප‍්‍රදෙශ්වලිනි. කොළඹ දිස්ති‍්‍රක්කයේ සෙසු කිසිදු ප‍්‍රදේශයකින් පහේ (05) සීමාව ඉක්මවා ගිය ආසාදිතයන් ගණනක් වාර්තා වී නොතිබුණි.
 
 එම තත්ත්වය ද යම්තාක් බලාපොරොත්තු තැබිය හැකි එකක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
 
  මේ අතර කොරෝනා ආසාදිත තරුණ මවක් මුල්ලේරියාව රෝහලේදී නිරෝගී
 
 නිවුන් දරු ප‍්‍රසූතියක් සිදු කිරීමේ සිදුවීමක් ද ඊයේ (11 වැනිදා) වාර්තා විය.
 
 මෙම මව දියවැඩියා රෝගය සහ අධිරුධිර පීඩනයෙන් පෙලීම නිසා වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමකින් එම දරු උපත සිදු කර ඇත. දරුවන් නොමේරු ළදරු ඒකකයේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද සඳහන් වේ.
 
 මෙම නිවුන් දරු ප‍්‍රසූතියත් සමග මුල්ලේරියාව රෝහලේදී මේ දක්වා කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන් එකසිය හැත්තෑදෙනකු සාර්ථකව සිය දරු ප‍්‍රසූතිය සිදු කර ඇත. එහිදී නිවුන් දරු උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප‍්‍රදේශයෙන් ඊයේ වන විට කොරෝනා ආසාදිතයන් 660 දෙනකු හඳුනාගෙන ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී නිමේෂා රත්නවීර මහත්මිය සඳහන් කළාය.
 
 අටලූගම, මහබෙල්ලන සහ මැදගම යන ප‍්‍රදේශවලින් ඊයේ දිනයේදී ද තවත් ආසාදිතයන් සිව්දෙනකු වර්තා වී ඇති අතර පවතින තත්ත්වය තුළ අටලූගම ප‍්‍රදේශයේ සියලූම ග‍්‍රාම නිලධාරී වසම්වල සිටින ගැබිනි මව්වරුන් සඳහා අටලූගම අල් ගසාලි විදුහලේදී පීසීආර් සහ රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණ සිදු කිරීමට ද සෞඛ්‍ය අංශ කටයුතු කර තිබිණි.
 
 පෑලියගොඩ පොකුරේ ව්‍යාප්තියේ ප‍්‍රතිඵලයක් ලෙස නාවලපිටිය ප‍්‍රදේශයේ පාසලක 12 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ අනාවරණය විය.
 
 නාවලපිටිය නගරයේ වෙළෙඳ සලක සේවය කරන එම සිසුවියගේ පියා කොරෝනා ආසාදිතයකු ලෙස මීට පෙර හඳුනාගෙන තිබී ඇති අතර සිසුවියට ද වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමත් සමඟ ඇයගේ ආශි‍්‍රතයන් ලෙස පාසලේ ගුරුවරුන් සිව් දෙනකු සහ සිසුවියන් 16 දෙනකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
 
 ආසාදිත සිසුවිය ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත. පාසල විෂබීජානුහරණයට ලක් කිරීමටද ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.
 
 කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට තුළ රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 570දෙනකු ඊයේ දිනයේදී ද පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබිණි.
 
 එම පිරිසත් සමග මේ දක්වා මෙරට තුළ කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ පිරිස 22831 දක්වා ඉහළ ගියේය. එසේම තවත් ආසාදිතයන් 8206 දෙනකු වැඩිදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේය.
 
 මෙරට තුළ කොරෝනා ආසාදිතව සිදුවූ තවත් මරණ දෙකක් පෙරේදා වාර්තා වීම හේතුවෙන් මරණ සංඛ්‍යාවද 146 දක්වා ඉහළ ගියේය.
 
 
 විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා නැහැ
 
 රියැදුරකුට කොරෝනා වැළඳීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දින නියමයක් නොමැතිව වසා දමා ඇති බවට පැතිර යන පුවත් සාවද්‍ය බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය රාජකාරි සේවාවන් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරමින් සිටින බවත් එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 එම නිවේදනයේ මෙසේද සඳහන් කර ඇත.
 
 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කරන රියදුරු මහතෙකුට කොවිඞ් රෝගය වැළඳී ඇති බවට 2020.12.08 දින සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී තහවුරු විය. ඒ අනුව ඔහු වහාම රෝහල් ගතකර ආශ‍්‍රිතයන් නිරෝධායනය සඳහා යොමු කිරීමට කොස්වත්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් මත පාලනාධිකාරිය කටයුතු කර ඇත. එදිනම එම රියැදුරුගේ ආශ‍්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණයන් සිදු කළ අතර ඊයේ දිනයේදී ලැබුණු වාර්තා මගින් ඔවුන් කිසිවකුටත් කොවිඞ් රෝගය වැළඳී නොමැති බව තහවුරු විය.
 
 එසේම 2020.12.09 දින විෂබීජහරණය සඳහා කාර්යාංශය වසා දැමූ බැවින් නැවත 2020.12.10 දින සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය සේවාවන් ක‍්‍රියාත්මක කර ඇත. ඒ අනුව විදේශ රැුකියා සඳහා ලියාපදිංචි කිරීම, විසිහතර පැයේ තොරතුරු මැදිරිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් මේවන විට ක‍්‍රියාත්මක කර ඇත. එමෙන්ම කාර්යාංශයේ ගුවන්තොටුපළ ශාඛාව ද සේවා සඳහා ක‍්‍රියාත්මක බැවින් විදේශ රැුකියා සඳහා ලියාපදිංචි කිරීම එහිදී ද සිදුකර ගත හැක. කාර්යාංශයේ පළාත් කාර්යාල හා දිස්ත‍්‍රික් කාර්යාල සේවාවන් ද සුපුරුදු පරිදි අඛණ්ඩව ක‍්‍රියාත්මක කෙරේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles