Sunday, September 22, 2024

ශ්‍රී ලංකාවේ අපනයනවලට තායිලන්තයේ වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන තායිලන්තට අපනයනය කීරිම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා තායිලන්තයේ විශාල ඉඩකඩක් පවතින බව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපතිනි චාර්ට්සුවාන් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කෙළේ විදේශ අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් මහචාර්ය ජයනාත් කොළඹගේ මහතා හමු වූ අවස්ථාවේදීය. ඉකුත් 10 වැනිදා මෙම හමුව විදේශ අමාත්‍යංශයේදී සිදුවිය. දෙරට අතර විවිධාංගීකරණය වූ අංශවල සහයෝගීතා ක්ෂේත්‍රයන් වේගවත් කළ හැකි මාර්ග හා දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවය ශක්තිමත් හා වේගවත් කළ හැකි ක්‍රම පිළිබඳවද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කළහ.

තායිලන්ත ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා මෙම හමුවේදී ඇගැයුමට ලක් වූ අතර, එම ක්ෂේත්‍රයේ දෙපාර්ශ්වයම විසින් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ‘ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම’ පිළිබඳ පළමු වටයේ සාකච්ඡා 2018 දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරය අතරතුර දී පැවැත්විණි. ‘ශ්‍රී ලංකා-තායිලන්ත වෙළඳ සාකච්ඡා කමිටුවේ’ දෙවැනි රැස්වීම 2019 දී පැවැත්විණි. වැඩි දියුණු කළ ආර්ථික සහයෝගීතාවයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා, මෙම සාකච්ඡා ක්‍රියාවලිය කඩිනමින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙපාර්ශ්වයම අනුමත කළහ

තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරය අතරතුර දී අත්සන් තබන ලද උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය (SEP) ක්‍රියාත්මක කිරීම තුළින් උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය, යටිතල පහසුකම්, කෘෂිකාර්මික, ධීවර කටයුතු, මැණික් හා ස්වර්ණාභරණ, සංචාරක කටයුතු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය සහයෝගීතාව, ඇසුරුම්කරණ කර්මාන්ත, තොරතුරු තාක්ෂණ අංශ සංවර්ධනය සහ අන්‍යෝන්‍ය වශයෙන් ආර්ථික උනන්දුවක් දක්වන වෙනත් ක්ෂේත්‍ර යන අංශ 10 ක් යටතේ සහයෝගීතාව දක්වයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය සියවස් ගණනාවක් පුරා සදාතනික, අන්‍යෝන්‍ය වශයෙන් සුපෝෂිත සබඳතාවයක් පවත්වා ගෙන යයි. දෙරටේ ජනතාව ථෙරවාදී බෞද්ධ සබඳතාවලින් බැඳී සිටින අතර, 1955 දී විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් දින සිට දෙරට අතර සහයෝගීතාවය විවිධ අංශ කරා අඛණ්ඩව සමෘද්ධිමත් හා විවිධාංගීකරණය වී තිබේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles