Monday, November 18, 2024

පිළිකා වෙනුවෙන් විදේශීය පරීක්ෂණයන්ට යොමු වෙන්න හැකි වන්නේ කීයෙන් කීදෙනාටද? – රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරයි (Video)

“අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව දේශීයත්වයට මුල්තැන දෙමින් ඖෂධ නිපදීවම සම්බන්ධයෙන් මේ වනවිට විශාල ප්‍රවණතාවයක් ඇතිවී තිබෙනවා. ඒ වගේම අපේ රටේ ජනතාවට පිළිකා සම්බන්ධයෙන්වන පරීක්ෂණ කරගැනීමට විදේශයන් කරා යොමුවීමේ හැකියාව බොහෝම අඩුයි. අපි නැතිකම නිසා තවත් බොහෝ දේවල් නැති කරගත්ත රටක්. ඉන්දියාවෙන් ආනයනය කර කරනු ලබන විකිරණශීලී ඖෂධ සඳහා එක් රෝගියෙක් වෙනුවෙන් රු .54,000/- ක් පමණ වැය වන අතර මෙම ඖෂධය දේශීයව නිෂ්පාදනය කරන්නේ නම් ඒ සදහා වැය වන්නේ රු. 14,000/- ක් වැනි මිලක් පමණයි. ඒ නිසා මෙම විකිරණශීලී ඖෂධය නිපදවීම සම්බන්ධයෙන් කිසිදු පසුබෑමකට ලක්නොවී, ඉතාමත් කඩිනමින් ඉදිරි සැලසුම් සකස් කළ යුතුයි. ඒ වගේම මේ වෙනුවෙන් අදාළ ආයතන සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ලබන ජනවාරි මස 15 දින සිදුකිරීමට මා බලාපොරොත්තු වෙනවා.” යැයි සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අවධාරණය කරයි.

රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙම අදහස් පළ කළේ සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

“ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පිළිකා වැනි බෝ නොවන ගණයේ රෝග වර්ධනය වීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා. එය පසුගිය දශක කිහිපය තුළ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බරපතල සෞඛ්‍ය ගැටළුවක් ලෙස හඳුනාගෙන ඇති අතර ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් පිළිකා වැළදීම හේතුවෙන් සිදුවන මරණ. පිළිකා මර්ධනය වෙනුවෙන් විකිරණශීලී ඖෂධයක් රට තුළ නිපදවීම තුළින් මෙම තත්ත්වය සාර්ථකව පාලනය කරන්න හැකි වේවි. එවැනි විකිරණශීලී ඖෂධයක් නිපදවීම වෙනුවෙන් සුර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින පරමාණුක බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති අධිකාරි නියාමන සභාව යොදාගැනීමට හැකිවීම විශාල ජයග්‍රහනයක් මෙන්ම ජාතික සත්කාර්යයක්.“ යැයි කීය.

විකිරණශීලී ඖෂධයක් දේශීය වශයෙන් නිපදවීම වෙනුවෙන් වූ මෙම සාකච්ඡාවට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නියාමන සභාව, පරමාණුක බලශක්ති අධිකාරිය, පරමාණුක බලශක්ති අධිකාරි නියාමන සභාව, සූර්ය, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඇතුළු ජ්‍යේෂඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles