කිසිකෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා -කාදිනල් හිමිපාණන්

0
768

භික්ෂූන් වහන්සේගේ උපදෙස් අනුව බෞද්ධ ආගමික චින්තනයට අනුකූලව මෙරට නායකයින් තීන්දු තීරණ ගත යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කළුතර පැවති ආගමික උත්සවයකට අද (31) එක්වෙමිනි.

පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75වැනි ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්ථානයේ ඉදිකළ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විය.

එම අවස්ථාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද සහභාගී විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු කාදිනල් හිමිපාණන්, 

“බුදුදහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණ ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. මේ වෙහෙර විහාර ඉතාම ඈත අතීතයේ සිට රජවරුන් බූද්ධාගමට දැක්වු ඒ ආදරය, කරුණාව, ළෙන්ගතුකම මේ සියල්ලම විද්‍යාමාන වෙන ආකාරයට මේ රට පුරාම තියෙනවා. මේ රට සිංහල, බෞද්ධ චාරිත්‍රයෙන් පිරුණු ශක්තිමත් වු රටක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා කිසිකෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. අපේ රටේ දේශපාලන නායකයෝ ඒක තේරුම් ගන්න ඕනේ මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම, බුද්ධාගම. ඒ නිසා එය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීම. අපේ සංඝ පීතෘන්වහන්සේලා අපිට දෙන අවවාද අනුසාසනා පිළිඅරගෙන මේ දර්ශනය තුළින් අපේ ජීවිතය අර්ථවත් කර ගැනීමට උත්සහ කළ යුතුයි. මේ රටේ අපි නායකයින් හැටියට ගන්න හැම තීරණයක්ම මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ වියයුතුයි. ඒවාට නොගැළපෙන තීරණ ගන්නට හොඳ නෑ.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here