Friday, October 18, 2024

එ.ජා.ප.යේ පුටු මාරුවක්

එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් රවි කරුණානායක මහතා දැරූ උප නායකත්වය සඳහා හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීම සඳහා රැස් වූ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි විය.  2021 වසර සඳහා පක්ෂයේ තනතුරු සඳහා පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සියලුම නාමයෝජනාවන්ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ජාතික සංවිධායක නවීන් දිසානායක සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් මහත්වරුන්ගේ තනතුරුවල වෙනසක් සිදු නොවිය.

නව මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර සහ සභාපතිවරයා ලෙස වජිර අබේවර්ධන මහත්වරුන් පත් කර ගැණිනි.

උප සභාපති තනතුර සඳහා සිව් දෙනෙක් පත් වීමද විශේෂත්වයකි. සාගල රත්නායක, ඩී.එම්. ස්වාමිනාදන්, දයා ගමගේ මහත්වරුන් සහ සුනේත්‍රා රණසිංහ මහත්මිය නව උප සභාපතිවරු වෙති.

නියෝජ්‍ය මහ ලේකම් ලෙස නාලක කොලොන්නේ, ජාත්‍යන්තර එ.ජා.ප. සංවිධාන කටයුතු ලේකම් සහ පළාත් පාලන කමිටු සභාපති ලෙස සන්දිත් සමරසිංහ මුදල් කමිටු සභාපති ලෙස ආනන්ද කුලරත්න මහත්වරුන්ද පත් විය. පරිපාලන ලේකම් ලෙස අනෝමා ගමගේ මහත්මියද පර්යේෂණ සහ ප්‍රතිපත්ති සැලසුම් සංවර්ධන අංශයේ ලේකම්වරයා ලෙස ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද පත් විය. මෙතෙක් පක්ෂයේ උප නායක ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා තමන්ට මහලේකම් ධුරය නොලැබෙන්නේ නම් වෙනත් තනතුරු අනවශ්‍ය බව කියමින් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමට සහභාගි වී නොමැත . පක්ෂයේ අසීරු තත්ත්වයකට ලක් වු මොහොතේ උප නායක ලෙස රවි කරුණානායක මහතා පක්ෂයට කළ සේවය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඇගයීමට ලක් විය.

පක්ෂයේ තනතුරක් සඳහා අර්ජුන රණතුංග මහතාගේ නමද යෝජනා වී තිබුණු අතර එය භාර ගන්නේද යන්න පසුව දැනුම් දෙන බව ඒ මහතා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වීමට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී පිටත්ව ගොස් ඇති බව දැන ගන්නට තිබේ. නවීන් දිසානායක මහතාද රැස්වීමට පැමිණ සිටියේ නැත. නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ධුරය භාර ගන්නේදැයි විමසීමට තීරණ විය.

දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිරවීම පසුවට කිරීමටද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කෙරිණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles