Saturday, November 23, 2024

ලාංකීය වීදි සුනඛයන්ට ආලය පෑ සමන්තා ග්‍රීන්ට බ්‍රිතාන්‍ය යෙන් සම්මාන

වීදි සුනඛයන් යනු බොහෝ දෙනාගේ පාපහරට මිස ආදරයට ලක් වන සතුන් නොවේ. වැස්සට තෙමෙමින්, නීරස අවම ආහාර වේලකින් සැනසෙමින්, චර්ම රෝග මත වේදනාවෙන් පීඩිතව ඔවුන් ගෙවන්නේ සුන්දර ජිවිත නොවේ. මහමඟ යන එන විට එවුන් දෙස බලා කනගාටු වනු මිස අපටද ඔවුන් වෙනුවෙන් කළ හැකි දෙයක් නොමැත. එහෙත් බ්‍රිතාන්‍යයේ සමන්තා ග්‍රීන් එසේ නොවේ. ඇය බ්‍රිතාන්‍ය යේ සුවබර ජීවිතය අමතක කර තම සැමියාද සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මේ සුනඛයගේ ජිවිත යහපත් කිරීම අරමුණු කර ගනිමිනි.

2005 තරම් ඈත වර්ෂයකදී මෙරටට පැමිණෙන සමන්තා ඩෝග්ස්ටාර් පදනම ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වීථි සුනඛයන් වෙනුවෙන් කටයුතු කිරීම ආරම්භ කළාය. එතැන් සිට ඇය මේ වන විට සුනඛයන් 49,000ක් පමණ වන්ධ්‍යාකරණයට ලක් කර ඇති අතර, බල්ලන් සහ බළලුන් 67,000කට ජලභීතිකා එන්නත් ලබා දී තිබේ. ඇය මේ සේවය සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර මේ සියල්ල ඇය සතුන් කෙරෙහි තමා තුළ පවතින කරුණාවම පෙරදැරි කර ගනිමින් කටයුතු කරන්නීය.

තමන් මෙන්ම දුක් විඳින වීථි සතුන් කෙරෙහි කරුණාව දක්වන සෙසු අයගේද සහය තම සේවය වෙනුවෙන් ලබා ගන්නා සමන්තා වීථි සතුන් කෙරෙහි කරුණාව දැක්වීමට සෙසු පුද්ගල සිත් සතන් හුරු කිරීමටද වෙහෙස වන්නීය.

ශ්‍රී ලංකාවේ වීදි සුනඛයන් වෙනුවෙන් සිදුකරන ලද සේවය හේතුකොට ගෙන බ්‍රිතාන්‍ය රජය එරට ගෞරව බුහුමාන පදක්කමක් වන බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම සමන්තා ග්‍රීන් වෙත පුද දීමට තීරණය කර තිබෙන්නේ මේ අතරය. එය සැබවින්ම බ්‍රිතාන්‍ය ජාතිකයකු ලබන මහඟු අවස්ථාවකි. තමන්ට එම පදක්කම හිමි වන බව දැන ගත් අවස්ථාවේ සමන්තා පවසා ඇත්තේ එසේ කිරීමෙන් බ්‍රිතාන්‍ය රජය තමාට සැබවින්ම ගෞරව කර ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles