Friday, September 20, 2024

නැගෙනහිර පර්යන්තය දුන්නොත් ආණ්ඩුවට ඔළුව උස්සන්න වෙන්නේ නෑ – මැදගොඩ අභයතිස්ස හිමි(වීඩියෝ )

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් යම් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කළහොත් ඉදිරියේදී  ආණ්ඩුව බරපතළ අර්බුදයකට යා හැකි බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.

අද (25) වරාය වෘත්තිය සමිති ඔවුන්ගේ යෝජනා උන්වහන්සේට පිළිගැන්වූ අවස්ථාවේ දී මෙම අදහස් පළවිය.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ කැබිනට් අනු කමිටුව අද පස්වන වරටත් රැස්වු බව වාර්තා වේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ කොටස්වලින් 49%ක් ඉන්දිය සමාගමකට ලබාදීම සඳහා යෝජනාවක් රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත්ව ඇති අතර ඊට මේ වනවිට වරාය වෘත්තිය සමිති ඇතුළු පාර්ශ්ව රැසක් විරෝධය පළකරති.

ඒ අනුව වරාය වෘත්තිය සමිති 23ක නියෝජිතයින් අද පෙරවරුවේ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්ථානයේදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් බැහැදැක, නැගෙනහිර පර්යන්තය සියයට සියයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජනාවලිය පිළිගැන්වීය.

මෙහිදී අදහස් දැක්වු පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් මහා විහාරයේ පරිවේනාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පැවසුවේ, “අපිට මේක කරන්න බැහැ කියලා කියනවා නම් ඩොලර් මිලියන 600ක් නැතිකම නිසා. මේ අපේ රටේ හැදෙන පාරවල් හදන්න ඩොලර් මිලියන කොච්චර යනවද? ඒ මංමාවත් හදන දේවල් මේ වසරකට දෙකකට තුනකට හරි නතර කළත් අපිට මේක කරන්න පුළුවන්. ඒ නිසා මුදල් නැහැ කියන කතාව  පැත්තකින් බොරු. අනිත් එක එදා අපි රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කාලේ හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කිව්වේ මේක දෙන්න එපා. හරියට මම මෛත්‍රීපාල ජනාධිපතිවරයා ළඟට ගිහිල්ලා උදේ පාන්දර 7ට එතුමා අර පත්තරේ බලන්නත් කලින්. මං ගිහිල්ලා ළඟ ඉඳගෙන කිව්වා ජනාධිපතිතුමනි ඉඩකඩම් විකුණගෙන කන තාත්තා කෙනෙක් ළඟට ඇවිල්ලා අඬ අඬ අනේ තාත්තේ අපිට ජීවත් වෙන්න තියෙන ගේයි වත්තයි ඉඩමයි රැකලා දෙන්න කියන පුතෙක් වගේ හිතන්න මාව. ඒක තුට්ටු දෙකට විකුණලා දැම්මා අද සල්ලිත් නැහැ වරායත් අපිට නැහැ” යනුවෙනි.

මෙවන් පසුබිමක කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට විරෝධය පළ කරමින් අද දහවල් දුම්රිය සේවක සංගමය ද කොළඹදී විරෝධතාවක නිරත විය.

එහිදි විරෝධතාකරුවන් විසින් තැපැල්පත්වල සිය විරෝධතාව සටහන් කර ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කළේය.

adstudio.cloud

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles