Saturday, November 16, 2024

හිමිනමට රාජකීය ගේට්ටු වැහුවාට හේතුව ලිඛිතව ඉල්ලයි

කොළඹ රාජකීය විදුහලට ස්ථාන මාරු ලබා පැමිණ සිටින ස්වාමින් වහන්සේට වැඩ භාර නොදීමට හේතුව ලිඛිතව ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය එම විදුහලට ඊයේ (26 වැනිදා) දැනුම් දුන්නේය.

ස්වාමින් වහන්සේලාගේ අතිරික්තයක් නිසා වැඩ භාර දීමට නොහැකි බව විදුහල්පතිවරයා උන්වහන්සේට දන්වා තිබූ අතර එවන් අතිරික්තයක් පවතින්නේ නම් ඒ බව අමාත්‍යාංශයට දැනුම් දිය යුතු යැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවැසීය.

බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය උගන්වන මෙම ස්වාමින් වහන්සේට වැඩ භාර ගැනීම සඳහා පැමිණෙන ලෙස දැනුම් දුන් නමුත් ඊයේ (26 වැනිදා) උන්වහන්සේට වැඩ භාරදී නොතිබිණි. වැඩ භාර ගැනීම සඳහා උන්වහන්සේ සූදානමින් ගොස් ඇති නමුත් විදුහල්පති බී.ඒ. අබේරත්න පාසලට පැමිණ සිට නැත.

තමන් වහන්සේට වැඩ භාර නොදෙන්නේ නිකාය භේදයක් මත විනා අන් කිසිදු හේතුවක් මත නොවන බව සිද්ධියට මුහුණ දී සිටින අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියෝ ‘අරුණ’ට පැවසූහ.

ගුරුවරුන් ස්ථාන මාරු කෙරෙන්නේ ගුරු වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත ගුරු මාරු මණ්ඩල තීරණ මතය. මෙම ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් ද ගුරු මාරු මණ්ඩලයේ දී විවිධ අදහස් පළ වී ඇතත් අවසානයේ තීරණය වී ඇත්තේ උන්වන්සේ කොළඹ රාජකීය විදුහලට ස්ථාන මාරු කිරීමටය. මෙම ස්වාමින් වහන්සේ ස්ථාන මාරු කර තිබුණේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් විදුහලේ සිටය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles