ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය අද ලෝකයේ ඉතා දියුණුය. එහෙත් නිවෙසක අවශ්‍යතාව සඳහා දියුණු තාක්ෂණය වුවමනා නැත. ආහාර මතුවට ආරක්ෂා කර ගැනීමේ කලාවෙන් හෙළ ආහාර සංස්කෘතිය ඕනෑවටත් වඩා පොහොසත්ය. මේ දැනුම භාවිතය යාවත්කාලීන කර ගැනිමේ බරපතළ අවශ්‍යතාව අපට මෙන්ම ලෝකයට ද දැන් දැනී ඇත.
අන් සියල්ල අබිබවා මිනිස් අවශ්‍යතා අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ ආහාරය. ලොව ආහාර බෙදී යාමේ විසමතාව හේතුවෙන් ආහාර අර්බුදයකට මුහුණ පා සිටින දිළිඳු රටවල් අප දන්නා මුත් ආහාර පහසුවෙන් සපයා ගත හැකි සහ ආහාරවලින් ස්වයංපෝෂිත රටවල් පවා අලුත් අත්දැකීමකට මුහුණ පෑවේ කොවිඩ් වසංගතයත් සමෙඟය. ආහාර සුලබව පැවති රටවල් පවා හදිසියේ පැනනැගුණු තත්ත්වයත් සමග විවිධ ගැටලුවලට මැදි විය.
අපේ රටට ද මෙය පොදු කාරණයක් විය. කොවිඩ් 19 වසංගතය නිසා රටට පොලිස් ඇඳිරිය වැටෙන විට ජීවිතය ගැන බියක් මෙන්ම කෑම බීම නැතිව සා පිපාසාවෙන් මිය යන්නට වේදෝයි යන බියත් දැනෙන්නට පටන් ගැනිණි. පැය කිහිපයකට ඇඳිරි නීතිය ඉවත් කරන විට වෙළෙඳසල් මිනිසුන්ගෙන් ඉතිරී ගියේ හදිසියකට ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට නිවෙසේ ආහාර සංචිතයක් ගබඩා කර නොපැවති නිසාය. මේ ප්‍රශ්නය මතුවුණේ වැඩිමනත් ගමේ නොව නගරයේ අයටය. ගමේ ගොඩේ අයට නම් අල බතල ටිකක් හෝ පලා කොළයක් තම්බා ගෙන බඩගින්න නිවා ගත හැකි මුත් නාගරික ජනතාවට මිදුලේ වැලි කැටවත් දක්නට නොමැති තැන සාධාරණ බියක්, තැතිගැන්මක් ඇති වීම ස්වාභාවික ය. මේ තත්ත්වය මුළු ලෝකයට ම බලපා ඇති තත්ත්වයක් නිසා අප මෙන්ම පිටරට ජනතාවද ආහාර සුරක්ෂිත කර ගැනීම සහ කල් තබා ගැනීම ගැන අමුතුවෙන් සිතන්නට පටන් ගත්හ.
දින සති නොව මාස ගණනක් ගම නගරය නැතිනම් මුළු රටම ‘ලොක් ඩවුන්‘ කළහොත් නගරයේ වෙළෙඳසල ද ගමේ කඩමණ්ඩිය ද ඉබේම වැසෙනු ඇත. එසේ වීමට පෙර එළවළු මිල ගණන් අඩු මොහොතක් හෝ බලා ආහාර මිලට ගෙන මතුවට ආරක්ෂාකර තබා ගන්නේ නම් නුවණට හුරු නොවේද?
ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය අද ලෝකයේ ඉතා දියුණුය. එහෙත් නිවෙසක අවශ්‍යතාව සඳහා දියුණු තාක්ෂණය වුවමනා නැත. ආහාර මතුවට ආරක්ෂා කර ගැනීමේ කලාවෙන් හෙළ ආහාර සංස්කෘතිය ඕනෑවටත් වඩා පොහොසත්ය. මේ දැනුම භාවිතය යාවත්කාලීන කර ගැනිමේ බරපතළ අවශ්‍යතාව අපට මෙන්ම ලෝකයට ද දැන් දැනී ඇත.
ඇතැම් කාලවල වෙළෙඳපොළේ එළවළු පලතුරු ආදියෙහි මිල අඩු වෙයි. කොරෝනා නිසා මෙන්ම වැසි කාලයට ද අස්වනු වෙළෙඳපොල ට ගලා ගෙන එන කාලයට ද පාරිභෝගිකයින්ට මේ වාසිය ලැබෙයි. අතේ මිටේ මුදලට එළවළු ටිකක් වැඩිපුර මිලදී ගැනීමට ඇති හැකි එවැනි අවස්ථාවක ඇතැම් එළවළු වර්ග අපට හොදින් වියළා ගෙන පසුවට ප්‍රයෝජනයට ගැනීමට පුළුවන. වියළීම යනු ආහාර කල්තබා ගැනීමේ ඉතා පැරැණි තාක්ෂණයකි. එහෙත් අපට අද ට ගැළපෙන විදිහට මෙය සිදු කර ගන්නේ කෙසේ ද යන්න ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නැත. වියළා ගැනීමේ දී වර්ණය වෙනස් විම, රසය වෙනස් විම වැනි ප්‍රශ්න නිසා වැඩි දෙනෙක් ආහාර කල්තබා ගැනීම ට උනන්දු වෙන්නේ ද නැත. නමුත් ආහාරයක ඉහළම ප්‍රමිතිය රැක ගෙන මේ කාර්ය කර ගැනීමට බැරිකමක් නැත.
ස්වාභාවික ක්‍රම
කල් තබා ගැනීම ක්‍රම දෙකකට කළ හැකියි. සුර්ය තාපයෙන් වියළීම සහ අව්වේ වියළීම ඒ දෙවර්ගයයි. අව්වේ වියළීම ඉතා පහසුය. නමුත් අව්වේ වියළීමට වඩා සුර්යතාපයෙන් වියළා ගැනීම අද ජනප්‍රිය ක්‍රමයයි. පිසින විට දියවී නොයන තරමට සිහින්ව කපා ගැනීම මෙහි මුලික පියවරයි .එමෙන්ම වියළා සකසා ගන්නා විට කහට පිපීම පසුව පිසීමේ දී දැකිය හැකි අවර්ණ ස්වභාවය කෑමට ප්‍රිය උපදවන ගතියට හානියකි. මේ සඳහා දෙහි මිශ්‍ර කර වියළා ගත යුතුය. එසේ නොමැති නම් සී විටමින් පෙති දෙක තුනක් ජලයට දමා දිය වෙන්නට හැර එම ජලයේ ගිල්වා විනාඩි දෙක තුනක් තබා පසුව අව්වේ වියළා ගත හැකියි.
අව්වේ වියළීම වෙනුවට සූර්ය විජලනය වඩාත් ප්‍රයෝජනවත් වන්නේ වර්ෂාව වැනි කාලගුණ තත්ත්වයක් පවතින විටය. එළළුව් ටිකක් වියළා ගැනීමට කාමරයක් තරම් හරිතාගාරයක් වුවමනා වෙන්නේ නැත. එය සරල ක්‍රියාවලියකි. උදාහරණයක් ලෙස කරවිල පෙති ටිකක් සිහින්ව කපා පැතලි තැටියකට ගෙන එය වීදුරු පියනක් සහිත ආවරණයකින් වැසිය යුතුය. මෙසේ වසන විට තරමක හිඩැසක් සිටින සේ වැසිය යුතුයි. මෙහිදි සිදු වන්නේ සූර්යාගෙන් ලැබෙන තාපය ගබඩා කර ගෙන වියළීමට අවශ්‍ය ද්‍රව්‍ය යේ තිබෙන ජලය වාෂ්ප වීමට ඉඩ හැරීමයි.
සූර්ය විජලනය සාමාන්‍යයෙන් අව්වේ වියළා ගැනිමට වඩා දෙගුණයක් ඉක්මන් වගේම වඩාත් හොඳින් වියළා ගත හැකි ක්‍රමයකි. මේ ක්‍රමය ට ආහාර කල්තබා ගැනිමට නිතර කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන්නේ නම් සූර්ය විජලනය සඳහා ස්ථීර ඇටවුමක් ලෙස පුංචි පහේ වීදුරු පෙට්ටියක් සකස් කර ගත හැකිය.
මේ ආකරයට ම සූර්ය විජලනයෙන් මාළු ආදියත් වේලා ගත හැකිය. මාළු කැරට්, කරවිල, වට්ටක්කා වම්බටු ආදිය මේ ආකාරයටම සුර්ය විජලනයෙන් වියළා ගත හැකියි .එසේ වියළා ගන්නා විට ලුණු මිශ්‍ර කිරීම අනවශ්‍යයය. මාළු වියළා ගැනීමට ලුණු අවශ්‍ය වෙන්නේ ම නැත.
වියළා ගත් දෙයක් ආහාරයට ගැනීම සඳහා පිස ගැනීමට පෙර උණු ජලයේ ස්වල්ප මොහොතක් තැබු විට පෙර පරිදි නැවුම් ස්වභාවය ට පත්වෙයි. රසය , ගුණය , වර්ණය මේ කිසිවක් වෙනස් වන්නේ නැත. ලංකාවේ අපේ ආහාර රටාවට අනුව මෙය තරමක් ආගන්තුක වුවත් පිටරටවල අනුගමනය කරන්නේ මෙවැනි ක්‍රමයි. පලතුරු කල් තබා ගැනීමේ දී වියළා ගැනීම තරමක් ගැටලු සහගතය. මක් නිසාද අපි වැඩිපුර හුරු වී තිබෙන්නේ නැවුම් පලතුරු ආහාරයටයි. වියළා ගත් විට පලතුරුවල තත්ත්වය වෙනස් වෙයි. එහෙත් පලතුරු ටිකක් කඩෙන්, සුපර් මාර්කට් එකෙන් ගන්න බැරි තත්ත්වයක් උදා වුවහොත් කෙසෙල් වැනි දෙයක් වියළා තබා ගෙන ඒ ආකරයෙන් ම ආහාරයට ගත හැකියි. වියළා ගත් පලතුරු පැණි හෝ සීනි ද්‍රාවණවල දමා හෝ තෙලේ බැද වෙනසක්ද එක් කරගත හැකිය.
තක්කාලි යනු නිවැරැදි ක්‍රමයට කළහොත් ඉතා හොඳින් කල් තබා ගත හැකි දෙයකි. එසේ කල් තබා ගන්නා විට පොත්ත හෙවත් ලෙල්ල ඉවත් කර ගැනීමට බොහෝ දෙනකුට ගැටලුවකි. තක්කාලි හොඳින් සෝදා නටවා ගත් ජලයේ විනාඩි තුන හතරක් තබා පසුව ඉවත ගෙන ඇල් ජලයට දැමු විට තක්කාලි ගෙඩියේ පොත්ත පහසුවෙන් ඉවත් ගත හැකිය. ඉන් පසු ලුණු ස්වල්පයක් දමා බ්ලෙන්ඩරයකින් සිහින්ව අඹරා ගෙන පසුව එය භාපනයකට දමා හොඳින් රත් කරගත් විට ජලය වාෂ්ප වී යයි. ඉන්පසු සෝස් එකක් විදිහට සකසා ගත හැකියි.
ඒ වගේම තක්කාලිවලින් සකසා ගන්නා පල්ප අපේ ශීතකරණයේ අයිස් කැට සකසා ගැනීමට තිබෙන ප්ලාස්ටික් තැටිවල ට දමා අධිශීතකරණය කොටසේ තබා ගෙන ආහාර පිසින විට ඉන් කියුබ් එකක් දෙකක් වැංජනයට එකතු කර ගත හැකියි. දෙහි යුෂත් මේ තැටිවල අයිස් කැට ලෙස සකසා පසුවට ආහාර පිසීමේ දි එක් කර ගත හැකියි.සාම්ප්‍රදායික ආහාර කල්තබා ගැනීමේ අප සතු දැනුමින් මීදීමට මෙවැනි අත්හදා බැලීම් කළ හැකිය.
පලා වර්ග නැවුම් බව රැගෙන පරිදි කල් තබා ගැනීම තරමක් අසීරුය. නමුත් හොඳින් ලුණු වතුරේ සෝදා පොලිතින් ඇසුරුමක බහා ශීතකරණයක දින කිහිපයක් තබා ගැනිමට පුළුවන.එසේත් නැතිනම් පලා වර්ග අපි ඉහතින් සඳහන් කළ පරිදි අව්වේ හෝ සුර්ය විජලනයෙන් වියළා කුඩු කරගෙන පුංචි දරුවන්ගේ ආහාර සකසා ගන්නා විට , ලොකු පොඩි කාටත් කොළ කැඳ සකසා ගන්නා විට ඉන් කුඩු ටිකක් කළවම් කර රසය ගුණය එක් කර ගත හැකියි. අධි පෝෂිත පලා වර්ගයක් වන මුරුංගා කොළ මෙසේ සකස් කර ගෙන වැංජන සඳහා එක් කර ගත හැකියි.
කෝවිඩ් වසංගතය ලෝකය බියෙන් ඇලළී ගිය මාතෘකාවක් වුවද එයින් මානව සමාජය අලුත් හැඩරුවකට පෙළගැසුණු බව සැබෑවකි. විශේෂයෙන් ආසියාතික රටවල් තම පැරැණි දැනුම යළි සොයා යෑමට උත්සුක වුණේ මේ වසංගතයට සාර්ථකව මුහුණ දීමට ආහාර සහ බොහෙත්වල අවශ්‍යාතව සපුරා ගැනීම ට යාමත් සමගය.
කොවීඩ් වසංගතයත් සමග වෙළෙඳපොල ආර්ථිකය කඩා වැටුණු බවට නිරන්තරයෙන් ඇසෙන පුවතක් වි තිබේ. එහෙත් නව ප්‍රවේශයන් තුළින් ආර්ථිකයත් වෙළෙඳපොළත් ජය ගත් පුවත් ඕනෑතරම්ය. ආහාර වෙළෙඳපොල මෙහි ඉදිරියෙන් ම සිටී. බිඳ වැටීමේ අවදානමට ලක්ව තිබුණු ස්වයං රැකියා ක්ෂේත්‍රයේ ආහාර නිෂ්පාදන අංශය ට නව පිබිදීමක් ලැබුණු කාලයක් උදාවිය. කල්තබා ගත හැකි ආහාර මිනිසුන් සොයා යන විට ඒ ඉල්ලුමට සැපයුම දිය හැකි වෙළෙඳපොළ නව ගැම්මකින් ඉදිරියට ආවේය. බෝතල් කළ ඇසුරුම්වලට ඉල්ලුම ඉහළ ගියේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.
කල් තබා ගැනීමේ දී ඇසුරුම්කරණය වෙළෙඳපොළට පමණක් නොව නිවෙසේ මුළුතැන්ගෙයට ද තාක්ෂණයකිත අපි වියළා හෝ තම්බා ගත් දෙයක් පසුවට ගැනීමට ඇසුරුම් කරන විට සුළං වැදිමෙන් නරක් වෙයි.මේ නිසා ඇසුරුම් කිරීමේ දී වීදුරු බෝතල් යොදා ගන්නේ නම් වඩා සුරක්ෂිතය. මේවායෙහි ආහාරයක් ඇසුරුම් කරන්නේ නම් බෝතලය ජීවානුහරණය කර ගත යුතුය. ඒ සඳහා භාජනයකට වතුර දමා බෝතලය එහි ගිල්වා හොඳින් ජලය නටවා ඉන් පසු ඉවතට ගෙන මුණින් අතට තබා ජලය බේරෙන්නට හැර ඕනෑම ආහාරයක් කල් තබා ගැනිමට ඇසුරුම් කර ගත හැකිය.
ප්‍රතිශක්තිකරණය
පෝෂ්‍යදායි ආහාර ගැනිමේ වැදගත්කම වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන ආහාර පිළිබඳව කෝවිඩ් සමග කතා කළ තවත් මාතෘකාවකි. මෙවැනි ආහාරත් කල් තබා ගෙන නිතර නිතර ආහාරයට එක් කර ගත හැකිය. සුදු ලුනු මී පැණිවල බහා කල්තබා ගෙන ඉන් බික් 1ක් දිනකට ආහාරයට ගන්නේ නම් හෘද රෝග ඇති අයට වාතාබාධ ඇති අයට ගුණදායි වෙයි. ඒ වගේම ප්‍රතිශක්තිකරණය වැඩි කරන විටමින් සී සහිත පලතුරු වන නෙල්ලි, නාරං, දොඩම් අපිට නැවුම්ව ආහාරයට ගත හැකියි. මේ අතරින් බෙහෙත් නෙල්ලි ඉස්තරම්ය. කල් තබා ගැනීමට ද පහසුයි. ඒ සඳහා හොඳින් සෝදා ගත් බෙහෙත් නෙල්ලි උණු ජලයෙන් සෝදා විෂබීජ ආදිය ඉවත් කර පිරිසුදු මිපැණි ද්‍රාවණයක දමා ඉන් ගෙඩියක් දිනකට ආහාරය ට ගන්න. ඉතාමත් ගුණදායි පලතුරකි. ගර්භණි මව්වරුන්ට වඩාත් සුදුසුය.
කොව්ඩ් සඳහා ප්‍රතිශක්තිකරණය නංවන ආහාර වට්ටෝරුව සහ පාන වර්ග අතරින් ග්‍රීන් ටීවලට වැඩි ඉඩක් වෙන් විය. චීනයේ ජනතාව කොරෝනාවලින් ආරක්ෂා වීමට මේ ග්‍රීන් ටී නිතර බීමක් ලෙස එක් කර ගන්නා බව මාධ්‍ය මගින් ද අනාවරණය කළේය. ප්‍රතිශක්තිකරණය වැඩිකරන බීමක් ලෙස මෙය සඳහන් වුවත් අපි හැමෝටම ග්‍රීන් ටී මිල දි ගැනිමට හැකියාවක් නැත. නමුත් බීමක් ලෙස ගන්නවාට වඩා වියදමත් අඩු කර ගෙන ප්‍රතිශක්තිකරණ ඖෂධයක් ලෙස ග්‍රීන් ටී වලින් කල්කයක් සාදා ගත හැකියි. ඒ සඳහා ග්‍රීන් ටී පැකට්ටුවේ තේ කුඩු ටික ඉවතට ගෙන තව ටිකක් වියළා ගෙන නැවත කුඩු කරගෙන මීපැණි දමා කල්කයක් මෙන් සකසා ගෙන දිනකට එක බැගින් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයට වඩා කුඩා ගුළියක් කෑමට ගැනීමට පුළුවන.
සුපිරි වෙළෙඳසල්වල තිබෙන බෝතල් කළ ආහාර යනු වෙළෙඳපොල සැපයුමට කල්තබා ගැනිමේ තාක්ෂණය උපයෝගි කර ගැනීමයි. කට්ට සම්බල්, චට්නි, හාල් මැස්සන් බැඳුම, ලුණු දෙහි මේ කියන ඒවා අපි ට මුළුතැන්ගෙයි සකසා ගෙන බෝතල්වල බහා කල් තබා ගත හැකියි.
ආහාර කල්තබා ගැනීම හොඳම මැස්ම ලෙස හැඳින්වෙන අරපිරිමැස්මට අදාළ මාතෘකාවකි. ආහාර අරපිරිමැස්මෙන් යොදා ගැනීමේ වැදගත්කම පිළිබඳව අපට වඩාත් දැණුනේ ලෝක වසංගත තත්ත්වයත් සමගය. ඇතැම් විට වෙළෙඳසල්වල ආටෝපයට තිබෙන ඇතැම් ආහාර වර්ග , දේශිය ඖෂධ ඇසුරුම් මේ බොහොමයක් අපට නිවෙසේ දී සකසා ගෙන කල්තබා ගෙන භාවිතයට ගත හැකිය. කොරෝනා වසංගතය අපිට අලුතින් හැඩ ගැසීමට බල කර සිටින සොබා දහමේ අපුරු පාඩමකි . කෝවිඩ් සමග මුළු ලෝකයම කතා කරන ආහාර සුරක්ෂිතතාව යනු නිකරුණේ සිදු වන ආහාර නාස්තිය ද වැළැක්වීමයි. අපෙන් මගහැරුණු ඒ පාඩම අපි නැවත ඉගෙන ගැනීම ට සොබා දහම දුන් මේ අවකාසයෙන් ප්‍රයෝජනයක් ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
අඹන්පොළ විශේෂ
සකුන්තලා ජයසිංහ