Saturday, November 16, 2024

පිලිකා රෝගයෙන් දරුවන් රැක ගන්නේ කෙසේද ?

පිළිකාවලින් පෙළෙන දරුවන් රෝගයත් සමඟ ජීවත් වන කාලය ඒ ඒ රටෙහි ආදායම් මට්ටම මත රඳා පවතින බව වැටහෙන විට දැන උගත් ඕනෑම වැඩිහිටියකුට ඇතිවන්නේ ඉසිලිය නොහැකි තරමේ සන්තාපයකි. දූෂණය, වංචාව, අනවශ්‍ය වියහියදම්, යුද, කැරළි කෝළහාල ඇතිකරන වැඩිහිටියන් තමන්ගේ දරුවන් පිළිකා රෝගයත් සමඟ ගෙන යන සටන ගැන මෙයට වඩා සිතා බැලිය යුතු බව මින් නොහැඟෙන්නේ ද?

සෑම වසරකම පෙබරවාරී පහළොස් වැනිදා ලෝක ළමා පිළිකා දිනය ලෙස සැලකේ. මේ වසරේ ලෝක ළමා පිළිකා දිනය පසුගිය සතියට යෙදී තිබුණු අතර මෙරට ඇතැම් මාධ්‍ය ද ළමා පිළිකා සම්බන්ධයෙන් කතා කරනු දක්නට ලැබිණ. තාක්ෂණික දියුණුව අතිමහත් වුවත් පිළිකා රෝගයෙන් මුළුමනින්ම සුවය ලබා ගන්නට සමත් ඖෂධයක් නිපදවා ගන්නට මිනිසාට තවමත් හැකියාව ලැබී නැත. එහෙව් කල කිසිවකු පිළිකා රෝගයට ගොදුරු වීම සමාජයේ සෙසු ඕනෑම කෙනෙකු මහත් කම්පනයට පත් කරවන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. දරුවකු පිළිකා රෝගයට ගොදුරු වීම අප කෙතරම් කම්පනයකට සහ කෙතරම් සංවේගයකට පත් කරන්නේ ද යන්න ඒ අනුව සිතා ගත හැකි ය.

ලෝ පුරා ජීවත්වන වයස අවුරුදු 0ත් අවුරුදු 19ත් අතර වයස් ඛණ්ඩයේ පසුවන ලක්ෂ හතරකට ආසන්න පිරිසක් සෑම වසරක් පාසා ම පිළිකා රෝගයට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්හි සඳහන් වේ. ඉහළ ආදායම් මට්ටමක් සහිත රටවල ජීවත් වන පිළිකා රෝගී දරුවන්ට වඩාත් දියුණු තාක්ෂණික ක්‍රමවලින් යුත් ප්‍රතිකාර ලබන්නට බාධාවක් නැත. එකී රටවල පිළිකා රෝගී දරුවන්ගෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් කිසියම් අන්දමක සුවයක් ලබා කාලයක් ජීවත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. පහළ සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටවල ජීවත් වන පිළිකා රෝගී දරුවන්ගෙන් 15% – 45%ත් අතර පිරිසකට පමණක් ඒ අවස්ථාව හිමිවන බව සඳහන් වේ.

ආදායම හා ජීවත් වීමේ කාලය

ළමා පිළිකා රෝග සුව කිරීම සඳහා ඖෂධ, සැත්කම් සහ විකිරණ චිකිත්සාවන් ආදී ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය වෙයි. ළමා පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල වියදමක් වැය වන බව ද සත්‍යයකි.

පහළ සහ මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන රටවල ජීවත් වන පිළිකා රෝගී දරුවන් වැඩිදෙනෙකු මිය යන්නේ නියමාකාරයෙන් සහ නියම වෙලාවට ප්‍රතිකාර කිරීමට, පරීක්ෂාවන් සිදුකිරීමට නොහැකි වීම නිසාය. ඒ හැරුණුවිට කලට රෝග විනිශ්චය කරගත නොහැකිවීම, ප්‍රතිකාර අත්හැරී යෑම, විෂවීම් සහ මර්දනය කරගෙන සිටි පිළිකා තත්ත්ව නැවත උත්සන්න වීම ආදිය ද ළමා පිළිකා රෝගීන්ගේ මරණ ප්‍රමාණය වැඩිවීමට හේතු වී ඇත. පිළිකාවලට පෙළෙන දරුවන් රෝගයත් සමඟ ජීවත් වන කාලය ඒ ඒ රටෙහි ආදායම් මට්ටම මත රඳා පවතින බව වැටහෙන විට දැන උගත් ඕනෑම වැඩිහිටියකුට ඇතිවන්නේ ඉසිලිය නොහැකි තරමේ සන්තාපයකි. දූෂණය, වංචාව, අනවශ්‍ය වියහියදම්, යුද, කැරළි කෝළහාල ඇතිකරන වැඩිහිටියන් තමන්ගේ දරුවන් පිළිකා රෝගයත් සමඟ ගෙන යන සටන ගැන මෙයට වඩා සිතා බැලිය යුතු බව මින් නො හැඟෙන්නේ ද?.

ඕනෑම වයස් ඛණ්ඩයක පසුවන පුද්ගලයකුගේ ශරීරයේ පිළිකාවක් ඇතිවන්නට පුළුවන. එමෙන්ම ඕනෑම පුද්ගලයකුගේ ඕනෑම දේහ කොටසක ද පිළිකාවක් ඇතිවිය හැකි ය. ශරීරයේ පිළිකාවක් ඇතිවීම ආරම්භ වන්නේ සෛලයක ආවේණික ද්‍රව්‍යයවල ඇතිවන වෙනසක් හේතුවෙනි. එතැන් සිට අනවශ්‍ය ලෙස සෛල වර්ධනය වන්නට පටන් ගනීයි. එම අනවශ්‍ය වර්ධනයෙන් සෙසු ශරීර අවයවවලට ද බලපෑම් ඇති කෙරේ. මේ අනවශ්‍ය වර්ධනයට නියමිත වෙලාවට නියමිත ප්‍රතිකාර ලබා නොදුනහොත් එම පුද්ගලයා ඉතා ඉක්මනින් මරණයට පත්විය හැකි ය.

මිනිස් ශරීරයේ පිළිකාවක් ඇතිවීම ආරම්භ වන්නේ කවර හේතුවක් නිසා ද යන්න ගැන විවිධ මත පවතී. දරුවන්ට පිළිකා ඇතිවන්නේ කවර හේතු නිසා ද යන්න ගැන විවිධ අධ්‍යනයන් සිදු කෙරී ඇත. ළමයින්ට වැලඳෙන පිළිකාවලින් 10%ක් පමණ ආවේණිය හා සම්බන්ධ බව පර්යේෂණවලින් සනාථව තිබේ. පාරිසරික හේතු සහ ජීවන පැවතුම් හේතුවෙන් දරුවන්ට පිළිකා ඇතිවන්නේ අඩුවෙන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. එච්.අයි.වී. (HIV), එපිස්ටීන් – බාර් (Epstein-Barr), මැලේරියා වැනි නිදන්ගත ආසාදිත තත්ත්ව දරුවන්ට පිළිකා ඇති කරන්නට හේතුවන බව සමහර පර්යේෂකයෝ පවසති. ළමා වියේදී ඇතිවන ඇතැම් ආසාදන පසු කාලීනව පිළිකා ඇති වීම කෙරෙහි බලපාන බවට ද විද්වතුන් අතර මතයක් තිබේ. මේ නිසා ඇතැම් ආසාදනයන් වළක්වා ගැනීම සඳහා එන්නත් ලබාගත යුතු බව වෛද්‍යවරු අවධාරණය කරති. හෙපටයිටිස් – බී සඳහා එන්නත් කළයුතු බව වෛද්‍යවරුන් පවසන්නේ අක්මාව ආශ්‍රිත පිළිකා ඇතිවීම වළක්වා ගැනීමේ අරමුණ ද ඇතිවයි.

දරුවන් සම්බන්ධ පිළිකා කල් ඇතිව ඉතා නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

ජානමය හේතු

එසේ සිදු කිරීමෙන් දරුවා ජීවත් වන කාලය දිගු කරගැනීමට ඉඩ සැලසෙන්නට පුළුවන. දරුවාගේ වේදනා විඳීම කිසියම් ප්‍රමාණයකින් අඩු කරගැනීමට ඉඩ සැලසේ. එමෙන්ම රෝගී දරුවාගේ ප්‍රතිකාර සඳහා යන වියදම අඩු කරගන්නටත් හැකියාව ලැබේ. දරුවාට කඩිනම් ප්‍රතිකාර තත්ත්ව අවශ්‍යවන අවස්ථාවන් ද අඩු වේ. කෙසේ වුවත් ළමයින්ට වැලඳෙන එක් එක් පිළිකා වර්ගයට අවශ්‍ය ප්‍රතිකාර විධි එකිනෙකට වෙනස් බව මෙහිදී අමතක කළ නොහැකි ය.

ළමයින්ට වැලඳෙන පිළිකා රෝග කල් ඇතිව හඳුනාගැනීම සඳහා සෑම රටකම රජයන්, සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන ආදී සෑම පාර්ශවයක් ම එකාවන් ව අත්වැල් බැඳගත යුතුව ඇත. එහිදී දරුවාගේ දෙමව්පියන් සතුව සුවිශේෂ කාර්යයක් පැට වී තිබෙන බවත් අමතක නොකළ යුතුව තිබේ. එවැනි කාර්යයක් දෙමව්පියන් මත පැටවී තිබෙන්නේ පිළිකාවකින් පෙළෙන දරුවකුගේ රෝග ලක්ෂණ පළමුවෙන්ම හඳුනාගන්නට සමත් වන්නේ ඔවුන් නිසයි.

දෙවනුව වැදගත් වන්නේ විවිධ මට්ටම්වල සිටින සෞඛ්‍ය සේවකයන් සහ දරුවා රැක බලාගැනීමට දායක වන සෙසු පිරිස ය. එසේ ම දරුවාගේ පිළිකා රෝගී තත්ත්වයට හේතුව ජානමය හේතුවක් ද යන්න නිවැරදිව අනාවරණය කරගැනීමත් ඉතා වැදගත් වේ. දරුවන්ට වැලඳෙන ඇතැම් අක්ෂි පිළිකාවලට හේතුව ජානමය විකෘතියකි. එවැනි තත්ත්වයක් මතුවුවහොත් පිළිකාවෙන් පෙළෙන දරුවාගේ සහෝදර සහෝදරියන් ද අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහා කලින් කලට යොමුවිය යුතුව තිබේ.

මේ සියලු දේ කළ හැකිවන්නේ ඒ ඒ රටෙහි ‍ෙද්ශපාලන සංස්ථාව ඊට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන්නේ නම් පමණි. පිළිකා හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම්, මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම, ප්‍රතිකාර සඳහා අවශ්‍ය මෙවලම් සහ ඖෂධ ලබාදීම ආදී බොහෝ දේ කළ හැකි වන්නේ රජයකට පමණි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය ඇසුරෙනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles