Saturday, September 21, 2024

පාස්කු වාර්තාව අගරදගුරු හිමි වෙත ලැබිය යුතුයි – කතෝලික රදගුරු සංගමය

පාස්කු ප්‍රහාර වාර්තාව ගැන සැකය දුරුවීමට එම වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගැන්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේ සභාපති වින්සන්ට් ජේ. ප්‍රනාන්දු රදගුරුතුමන් පවසයි.

බදුල්ල රොක්හිල් හි පිහිටි රදගුරු මැදුරේදී අද (22) පැවැති මධ්‍ය හමුවකදී වින්සන්ට් ජේ. ප්‍රනාන්දු රදගුරුතුමන් මේ බව පෙන්වා දුනි.

රදගුරුතුමන් සඳහන් කළේ, “දැන් පීලි පැනපු තත්වයක් අපි දකින්නේ. කමිටු 2ක් පත්කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙල ගැන අපිට ලොකු සැකයක් තියෙනවා,” යනුවෙනි.

“2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙක් මරණයට පත්වුණා. කොච්චිකඩේ දේවස්ථානයේ 56 දෙනෙකුත් කටුවාපිටිය දේවස්ථානයේ 115 දෙනෙකුත් ජීවිතක්ෂයට පත්වුණා. හෝටල්වල සිටි අයත් මරණයට පත්වුණා. තුවාල ලැබූ හා ආබාධිත වූ 500 දෙනෙක් සිටිනවා.”  

“අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණයකින් පසුව සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. මෙතෙක් ගත් පියවර අප අගය කරනවා. මලල්ගොඩ විනිසුරුතුමාගේ කොමිසම ඉන්පසු පාර්ලිමේන්තු කාරක සභාව, ඉන්පසු ජනාධිපති කොමිසමක් පත්කරලා හොඳ වැඩපිළිවෙලක් ගෙනගියා. 
දවස් 214 ක් තුළ සැකකරුවන් හා සාක්ෂිකරුවන් කැඳවලා මහ විශාල වාර්තාවක් සකස් කරගත්තා. ඒ පිටුවලින් වෙළුම් 6ක් සකස් කරගත්තා. ඊට අමතරව ඇමණුම් 215 ක් තියෙනවා.”

“ඉතින් අපි, ඒ කළ පරීක්ෂණ සම්බන්ධයෙන් සතුටු වෙනවා. ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. ඉන්පසු කළ යුත්තේ කුමක්ද? බෙහෙවින්ම පීඩාවට පත්වු කතෝලික ජනතාවට ඒ වාර්තාව දැක බලාගැනීමට එය පිළිගන්වන්න ඕන. පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් කෙසේ හෝ මෙය නීතිපතිට, ඉන්පසු අවසාන පියවර වන්නේ එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා අප සිතනවා.”

“අපේ ජනතාව පත්කරගත් ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණය ඉෂ්ඨවෙයි කියලා. විශේෂයෙන්ම අපේ සැකය දුරුකිරීම සඳහා විනිවිද භාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහාත් විශේෂයෙන්ම කාදිනල්තුමා අතට මේ වාර්තාව පත්කරන්න ඕන. මේ වාර්තාව ඔස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්න කියලා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles