පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදෙස් මැදිහත්වීමක් පැවතියේ ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකරන්නැයි ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
එහි දැක්වෙන්නේ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ සාක්ෂි විමසීම්වලදී අනාවරණ වූ අබු හින්ද් සහ සාරා ජෙස්මින් පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවය.
එම වාර්තාවට අනුව ප්‍රහාරයේ සෘජු වගකිව යුත්තන් ලෙස නම්කොට තිබුණේ, ත්‍රස්ත කණ්ඩායමේ නායක සහරාන් හෂිම් ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් පිරිසකි.
එමෙන්ම රට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවෙතැයි පුර්ව නිශ්චය කිරීමට අපොහොසත්වීම සහ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් බලධාරින් සහ නිලධාරින් රැසක් මෙකී ප්‍රහාරයට වගකිවයුතු බවට කොමිසමේ නිගමනය වී තිබුණි.
ඒ අනුව කොමිසම නීතිපතිවරයාට නිර්දේශ කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ප්‍රහාරය නොවැළැක්වීම සම්බන්ධයෙන් සාපරාධී වගකීමක් ඇති බැවින් දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පවරන ලෙසය.
මේ අතර ප්‍රහාරය පිටුපස විදෙස් හස්තයක් ඇති බවටත් සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු ලබාදුන් සාක්ෂි සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම වෙනම පරිච්ඡේදයක් අවසන් වාර්තාවට ඇතුළත් කර තිබුණි.
එහි දැක්වෙන්නේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණරත්න, විශේෂ කාර්ය බලකායේ හිටපු අණදෙන නිලධාරි එම්.ආර් ලතීෆ්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ඇතුළු සාක්ෂිකරුවන් රැසක් මේ සම්බන්ධයෙන් සාක්ෂි දී ඇති බවය.
කෙසේ වෙතත් එම සාක්ෂිකරුවන්ගෙන් කිසිවෙකුත් අනුමාන හැරෙන්නට මෙම කරුණ විමසා බැලීය හැකි මට්ටමේ සාක්ෂි ලබාදීමක් සිදුකර නොමැති බව අදාළ කොමිසම පෙන්වා දෙයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂියකට අනුව මෙම ත්‍රස්ත ප්‍රහාර මලාවට සම්බන්ධ අබු හින්ද් නම් ඉන්දියානුවෙකු පිළිබඳව කොමිසමේ අවධානය යොමුව තිබේ.
එහි දැක්වෙන්නේ, ප්‍රහාරයට පෙර විදෙස් බුද්ධි අංශයකින් ලද පුර්ව අනතුරු ඇඟවීමේ තොරතුරු මෙකී පුද්ගලයා සතුව ද පවතින්නට ඇතැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ඇඟවීමක් කළ බවය.
ඒ අනුව ජනාධිපති කොමිසම මෙකි අබු හින්ද් නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් තම සීමාව තුළ විමර්ශනයක් කළ බවත් එහිදී සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් 2017 වසරේ අග භාගයේ සිට අබු හින්ද් නැමැත්තෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වු බවට සහරාන්ගේ බිරිඳ හාදියා සාක්ෂි දුන් බවත් කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.
අබු හින්ද් පිළිබඳව අනන්‍යතාවය හෙළි නොකළ ත්‍රස්තවාදය පිළිබඳ ජත්‍යාන්තර විශේෂඥයෙකු ජනාධිපති කොමිසම හමුවේ ඉතා සංවේදි සාක්ෂියක් ලබාදුන් බව ද කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දෙයි.
අදාළ සාක්ෂිකරුට අනුව අබු හින්ද් යනු ඉන්දීය පළාත් බුද්ධි අංශයක් විසින් නිර්මාණය කළ චරිතයකි.
ත්‍රස්ත ක්‍රියා සඳහා සිරියාවට ගිය ඉන්දිය ජාතිකයන් ශ්‍රී ලංකාවට සංක්‍රමණයවීමක් පිළිබඳ සොයා බැලු මෙහෙයුමකට අදාළ බුද්ධි අංශය
අබු හින්ද් යොදාගෙන ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් ය.
විශේෂඥ සාක්ෂිකරු කොමිසමට පවසා ඇත්තේ, මෙම අබු හින්ද් නැමැති පුද්ගලයා ඉස්ලාමීය රාජ්‍ය කලාපීය නියෝජිතයා ලෙස විශ්වාස කිරීම හේතුවෙන් තමන් සිදුකිරීමට යන ප්‍රහාරයේ සැලැස්ම පිළිබඳ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තයින් විසින්, අබු හින්ද් දැනුවත් කරන්නට ඇති බවය.
ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ දැක්වෙන්නේ අප්‍රේල් 21 උදෑසන පළමු ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ලවීමෙන් පසු පුපුණ ද්‍රව්‍ය රැගත් වාහනයක් පිළිබඳ තොරතුරක් මෙම ප්‍රභවයෙන් රාජ්‍ය බුද්ධි සේවයට ලැබී ඇති අතර කොච්චිකඩේ දේවස්ථානය අසල නවතා තිබු පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් වෑන් රථය සොයාගැනීමට හැකිවුයේ ඒ අනුව බවය.
කෙසේ වෙතත් ඉන්දියානු පළාත් බුද්ධි අංශය විසින් සිදුකරන බුද්ධි මෙහෙයුම් පිළිබඳ මධ්‍යම රජය නොදැන සිටි බැවින් 2019 අප්‍රේල් 07 දින මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක ලේකම් සංජේ මිත්‍රා මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි නොදැන සිටින්නට ඇති බව සාක්ෂි ලබාදුන් විශේෂඥයාගේ මතය වී තිබෙන බවය.
ජනාධිපති කොමිසම අවසන් වාර්තාවේ සඳහන් කොට ඇත්තේ, මෙම අබු හින්ද්ගේ අනන්‍යතාවය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන බවය.
එම විමර්ශන ඉදිරියටම ගෙන යායුතු බව ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
විදේශ මැදිහත්වීම යන ශීර්ෂය ඔස්සේ ජනාධිපති කොමිසම පෙන්වාදෙන තවත් කරුණක් වන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේදී කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් පිළිබඳවය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සාරා ජීවතුන් අතර සිටි බවට සාක්ෂිකරුවන් දෙදෙනකු කොමිසම හමුවේ සාක්ෂි දී තිබුණි.
එසේම සයින්දමරුදු පිපිරීම සිදුවු ස්ථානයේ තිබු ශරිර කොටස් සමඟ සාරාගේ මවගේ ඩී.එන්.ඒ විශ්ලේෂණය කිරීමේදි පිපිරීමෙන් සාරා මියගිය බවක් තහවුරු වී නැතැයි ද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් ය.
ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ, එබැවින් මෙම සාක්ෂි සැලකිල්ලට ගෙන සාරා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන ලෙසය.
එමෙන්ම අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තුර්කි ක්‍රියාකාරිකයෙකු වන අබු අබ්දුල්ලා අල් යෙමෙනි නැමැත්තෙකු සමඟ කටයුතු කරන රිම්සාන් නම් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳවත් ඔහු සම්බන්ධතා පැවැත්වු අල් කයිඩා සංවිධානයට සහය දැක්වීමේ චෝදනා මත මේ වනවිට ඕස්ට්‍රේලියානු බලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිටින ලුක්මන් තාලිබ් පිළිබඳවත් පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.
මේ අතර මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමේ සිදුවීම අදාළව අත්අඩංගුවට ගත් සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් අසාද් සාලි මහතා මැදිහත්වීමක් සිදුනොකළ යුතුව තිබු බව ජනාධිපති කොමිෂන් සභාවේ මතය වී තිබේ.
ඒ අනුව කොමිසම නිර්දේශ කර ඇත්තේ, පොලිස් අත්අඩංගුවේ හෝ රඳවාගෙන සිටින ත්‍රස්තවාදි සැකකරුවන් සම්බන්ධයෙන් කරන ඕනෑම මැදිහත්වීමක් සාපරාධී ක්‍රියාවක් ලෙස සලකා එවැනි ක්‍රියා දඩුවම් ලබාදිය හැකි වැරදි බවය.
එමෙන්ම ලෝක මුස්ලීම් ලීගය විසින් මෙරටට ප්‍රධානය කරන බවට පොරොන්දු වී ඇති රුපියල් බිලියනයක මුල්‍යමය ප්‍රධානය මෙතෙක් මෙරටට ලැබී නොමැති බවත් එය පිටුපස ඇති සත්‍ය කරුණු රජය විසින් අනාවරණය කරගත යුතු බවත් ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුගමනය කළ අනුපමේය ප්‍රතිසංවිධාන ප්‍රයන්තය ශ්‍රී ලංකා ඉතිහාසයේ අමතක නොවන සන්දිස්ථානයක් බව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වේ.
උන්වහන්සේ අවිහිංසාව හා දයානුකම්පාව පතුරුවන ලෙසත් සතුරන්ට සමාව දෙන ලෙසත් සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සිදුකළ ආයාචනය තුළ පැතිරීමට නියමිතව තිබු ජනවාර්ගික හා ආගමික අසමඟිතාවය තවදුරටත් උත්සන්න වීම ඇහිරී ගිය බවත් ඒ තුළ රටට සිදුවීමට ගිය මහත් විනාශයක් වළක්වා ගැනීමට හැකිවු බවත් ජනාධිපති කොමිසමේ සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙරට සියලුම ආගමික නායකයන් උගත යුතු පාඩම වන්නේ මානව වර්ගයා කෙරෙහි වන අපරිමිත දයාව මිස අන් කිසිවක් නොවන බවය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ආගමික සමගිය පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්මක් යුහුසුළුව ක්‍රියාත්මක විය යුතු බවට ද කොමිසම නිර්දේශ කර තිබේ.