ශීඝ්‍රයෙන් ඉහළ නැඟ ඇති අපරාධ මර්දනය කිරීම පිණිස අපරාධ නීති පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මාස තුනක් වැනි කෙටි කාලයකදී අපරාධ නඩුවක් විසඳා දඬුවම් නියම කිරීමට හැකි අධිකරණ යන්ත්‍රණයක් සැකසීම මෙහි අරමුණ වී තිබේ.
එහිදී අග්‍රවිනිශ්චයකාරවරයාගේ අනුමැතියෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන් දෙදෙනෙක් හෝ තුන් දෙනෙක් සමඟ එකතුව කඩිනමින් එම නඩු විසඳීමේ (TRIAL AT BAR) ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට කටයුතු යොදනු ඇත. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දින කිහිපයකින් ඇප මත නිදහස් වීමත් එතැනින් පසුව ඔවුන් වෙනත් අපරාධ කෙරෙහි යොමු වීමත් දඬුවම් නියම කිරීමට වසර ගණනාවක් කල් ගතවීම නිසා ඔවුන්ට නිසි දඬුවමක් නොලැබෙන්නා සේම අගතියට පත් වන්නන් වැඩිවීම නිසාත් මෙසේ කඩිනමින් නඩු අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇත. එමෙන්ම මෙරට ස්වාධීනත්වයට භෞමික අඛණ්ඩතාවයට ස්වෛරීභාවයට එකඟ වන බව පාර්ලිමේන්තුවේ දිවුරුම් ලබා දී රටට හානිදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ ඒකීය බවට හානිවන ලෙසින් කටයුතු කරන අයට අධි චෝදනා ලබා දිය හැකි පරිදි නව නීති සංශෝධනයක්ද ගෙන එනු ඇත. මේ සම්බන්ධව මහජන සාමය පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ අපරාධ නීති කඩිනමින් සංශෝධනයට සැලසුම් කර ඇති බවත් එයින් අපරාධකරුවන්ට ඉක්මනින් දඬුවම් පැමිණවීමද සිදුවන නමුත් ප්‍රධාන අභිප්‍රාය වී ඇත්තේ අපරාධ කෙරෙහි බිය ඇති කිරීමත් ඒ හරහා මෙරට සිදුවන අපරාධ සංඛ්‍යාව අඩු කර ගැනීම බව බව පැවසුවේය.
එමෙන්ම රට බෙදීමට හෝ රටේ භෞමික අඛණ්ඩතාවයට හානිදායක ප්‍රකාශ නිකුත් කරන අයට විරුද්ධව අනිවාර්යෙන් නඩු පවරනු ලබන බවද ඔහු කීවේය.