Tuesday, November 19, 2024

සෙලාන් බැංකුවෙන් කැප්ටන් පවුල ඉවතට

වර්තමාන‌යේ දී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා කවුරුන්දැයි ඇසුවහොත් නිතැතින්ම මනසට ඒන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා ගේ නාමයයි. කෙසේවෙතත් ධම්මික ගේ මෙම කිරුළට අභියෝගයක් වෙමින් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් සමූහයක් වන LOLC සමූහයේ උපසභාපති ඉෂාර නානායක්කාර ගේ නම ද මේ වන විට ඒම ලැයිස්තුවේ ඉහළට පැමිණ ඇත. පසුගිය වසරේ දී LOLC සමූහයේ උප සමාගමක් වූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම ඩොලර් මිලියන 603 ක් හෙවත් රු. බිලියන 120 ක මිලකට විකිණීමත් සමඟම ඉෂාර නානායක්කාර වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඒසේම පසුගිය ජනවාරි මාසයේ දී LOLC හෝල්ඩිංග්ස් හි කොටස් මිල රු. 500 ඉක්මවා යාමත් සමඟම එය කොටස් වෙළෙඳපොළේ විශාලම සමාගමට පත්වීම ඒකී අවධානය දෙගුණ තෙගුණ කරලන්නට සමත්විය.

කෙසේවෙතත් මේ කතාව මෙකී ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයන් දෙදෙනාගේ අවධානය මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වෙත යොමු වී තිබෙන ආකාරය අනාවරණය කිරීමටයි.

වර්තමානයේ දී ලංකාවේ ලොකුම ධනවතා ධම්මික පෙරේරා හෝ ඉෂාර නානායක්කාර යන දෙදෙනාගෙන් ඒක් අයෙකු වුව ද මීට වසර 20 කට පෙර ඒම කිරුළ දැරුවේ කවුරුන්දැයි යන්න විමසුවහොත් මතකයට නැගෙන නම් කිහිපයකි. ඒ අතුරින් ලලිත් කොතලාවල ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටි බව අතිශෝක්තියක් නොවේ. මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව ලලිත් කොතලාවලගේ සභාපතිත්වය යටතේ 1987 වසරේ දී ආරම්භ වන්නකි. කෙසේවෙතත් 2008 වසරේ දී සෙලින්කෝ සමූහයේ අනුබද්ධ සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවන් හේතුවෙන් ඒම සමූහයේ කඩා වැටීමත්, ඉන්පසු මහ බැංකුවේ මැදිහත් වීම මත සෙලාන් බැංකුව යළි යථාතත්තවයට පත් වීමත් සිදුවේ.

අද වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස් වෙනවෙනම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත. මෙහිදී ඡන්ද බලය හිමි කොටස් හිමිකාරීත්වය අනුව ලැයිස්තුවේ මුල් තැන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හිමිව ඇත්තේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 15%කට හිමිකම් කියමිනි. නමුත් 2020 වසර දෙස අවධානය යොමු කිරීමේ දී මෙම ලැයිස්තුවේ සෙසු ස්ථානවල කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක් සිදුව ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ.

2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ප්‍රමුඛ කොටස්කරුවකු නොවූ ධම්මික පෙරේරා 2020 සැප්තැම්බර් 30 වන විට කොටස් මිලියන 15.92 ක් හෙවත් 6.20%ක කොටස් අයිතියක් අත්පත් කර ගනිමින් සෙලාන් බැංකුවේ 6 වැනි කොටස්කරුවා බවට පත්ව ඇත. ඒ වන විට LOLC සමූහය යටතේ ඇති Brown & Company PLC විසින් කොටස් මිලියන 35.61 ක් හෙවත් 13.87% ක හිමිකාරීත්වයක් සහිතව සෙලාන් බැංකු ඡන්ද බලය හිමි කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයත්, LOLC Investments Ltd විසින් කොටස් මිලියන 24.52 ක් හෙවත් 9.55% ක කොටස් අයිතියක් සමඟින් 4 වැනි ස්ථානයත් තහවුරු කර ගෙන තිබුණි.

මේ අතර 2020 දෙසැම්බර් කාර්තුව තුළ දී සෙලාන් බැංකුවේ කොටස් අයිතිය තවදුරටත් ඉහළ නංවා ගැනීමට ධම්මික පෙරේරා කටයුතු කර ඇති බව වාර්තා වේ. ඒ අනුව 2020 දෙසැම්බර් 31 වන විට ධම්මික සිය කොටස් හිමිකාරීත්වය කොටස් මිලියන 25.39 ක් ඒනම් 9.89% ක් දක්වා වර්ධනය කරගනිමින් මෙකී ලැයිස්තුවේ 3 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

2020 සැප්තැම්බර් 30 වන විට මෙකී ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ සිටි සෝලි කැප්ටන් හා 16 වැනි ස්ථානයේ සිටි ඔහුගේ දියණිය ලීසා කැප්ටන් 2020 දෙසැම්බර් 31 දින වන විට ප්‍රමුඛ කොටස්කකරුවන් 20 දෙනාගේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. සෝලි කැප්ටන් යනු මෙරට ප්‍රමුඛතම බිලියනපතියෙකි. දැවැන්ත සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඒල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ අංක 01 ට සිටින පුද්ගලයා යි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 11.6% ක් හෙවත් කොටස් මිලියන 152.60 ක් ඔහු ගේ නම ඉදිරියෙන් ලියැවී තිබෙන අතර ඔහුගේ පුත් රූසි කැප්ටන් ඒම ලැයිස්තුවේ 8 වැනි තැන සිටින්නේ කොටස් මිලියන 25.86 ක් හෙවත් 2%ක ප්‍රමාණයකට හිමිකම් කියමිනි. 2020 ජූනි 30 වන විට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 06 වැනි තැන සිටි රූසි කැප්ටන් ගේ කොටස් මිලියන 15.80 ක් හෙවත් 6.16% ක්වූ හිමිකාරීත්වය ඉන්පසු දක්නට ලැබෙන්නේ නැත. මේ අනුව පැහැදිලි වන්නේ කැප්ටන් පවුල සතුව පැවති සෙලාන් බැංකුවේ කොටස් හිමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇති බවකි.

සෙලාන් බැංකුවේ නිෂ්ඡන්ද කොටස් හිමිකාරීත්වයෙන් 46% ක් හෙවත් කොටස් මිලියන 119.75 ක් LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී සතුව පවතී.

මෙම ලැයිස්තුව තවදුරටත් වෙනස් වී ඇත්දැයි සෙවීමට නම් 2021 මාර්තු 31 මූල්‍ය වාර්තා ඒළිදකින තෙක් සිටිය යුතු වනු ඇත.

2020 දෙසැම්බර් 31 දිනට සෙලාන් බැංකුවේ ඡන්ද බලය හිමි සහ නිෂ්ඡන්ද කොටස්කකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටින 20 දෙනා පහතින් දැක්වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles