Sunday, November 24, 2024

රාජපක්ෂවරු කවදත් රට ආරක්ෂා කළා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

තිස් අවුරුදු යුද්ධය අවසන් කර රටට සාමය උදාකර දුන්නේ රාජපක්ෂවරු බවත්, ඒ නිසා රාජපක්ෂවරු කවදත් රට ආරක්ෂා කරනවා මිස රට පාවා නොදෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ජා – ඇල පැවති උත්සවයකදී පසුගියදා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“විපක්ෂය කරන්නේ හැමදාම චෝදනා කරන එක. ඒගොල්ලො වැඩක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුවක් විදිහට වැඩ කරනවා.  ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිළිවම රටට ආදරය කරන නායකයෙක්. රාජපක්ෂවරු තමයි අවුරුදු තිහක් අවසන් කරන්න බැරි වෙලා තිබූ යුද්ධය අවසන් කරලා රටට සාමය උදා කරලා දුන්නෙ. ඒ නිසා රාජපක්ෂවරු කවදත් රට ආරක්ෂා කරනවා මිසක් රට පාවලා දෙන්නේ නැහැ.

ඕනම කෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ අදහස් ප්‍රකාශ කිරීමට රජය කිසිවිටක බාධා කරන්නෙ නැහැ. රජයක් විදියට ජනාධිපතිතුමා රටට හිතකර තීන්දු ගන්නවා ඇරෙන්නට, රටට අහිතකර තීන්දු ගන්නේ නැහැ කියන එක පැහැදිලිව කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැතුව කිසිදු පනතක් සම්මත කරන්න බැහැ. කොළඹ වරාය ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තියෙන්නෙ. පාර්ලිමේන්තුවට ගෙනවිත් නියමිත කාලය තුළදී ඕනෑම කෙනෙකුට අධිකරණයට ගිහිල්ලා එහි වැරදි තියෙනවා නම් පෙන්වා දෙන්න පුළුවන්. වැරදි තිබෙනවා නම් ඒවා අපට නිවැරදි කරගන්න පුළුවන්. වැරදි නැත්නම් එම පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්න පුළුවන්. කිසිම පනතක් හොර රහසේ දාන්න බැහැ. හොර රහසේ පනත් දැම්මේ යහපාලන කාලයේදී. යහපාලන කාලයේදී තමයි හම්බන්තොට වරාය විකුණද්දී එක දවසක් තිබියදී දාල සෙනසුරාදා අත්සන් කළේ. අපි දින ගණනක් දීල තියෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට අධිකරණයට යන්න කාලය තියෙනවා. අපේ ආණ්ඩුව තුළ පනත් හොර රහසේ සම්මත කරන්නේ නැහැ. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ප්‍රධාන පක්ෂය. ප්‍රධාන පක්ෂය තුළ වෙනත් පක්ෂ ගොඩක් ඉන්නවා. එම පක්ෂවලට ඔවුන්ගේ අනන්‍යතාව තුළ රැස්වීම් තියන්න, කථා කරන්න අවස්ථාව තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැතිතුමාගේ නායකත්වයෙන් පක්ෂ නායක රැස්වීම තියෙනවා. ඒ සඳහා ඔය සියලු පක්ෂ සහභාගී වෙනවා. 

ඔවුන් කොයි පැත්තටවත් ගිහිල්ලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව ශක්තිමත්ව කර ගෙන යන්නේ කොහොමද කියලා විවිධ ස්ථානවල ඔවුන් හමු වෙලා සාකච්ඡා කරනවා. ආණ්ඩුවට එය ඉතාමත් හොඳ දෙයක් ලෙස අපි දකිනවා. ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනා එක ස්ථාවරයක ඉන්නවා. 

ජනාධිපතිතුමා ජනතාවට සවන් දීල කටයුතු කරන නායකයෙක් බව අද ඔප්පු කරල තියෙනවා. මේ රටේ බහුතරය ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සෑහීමකට පත් වෙලා ඉන්නවා.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles