Sunday, November 24, 2024

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ශීතාගාරදාම උපකරණවලින් පළමු වැනි තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට

ජපාන රජයේ සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ශීතාගාරදාම උපකරණවලින් පළමු වැනි තොගය භාරදී තිබෙනවා.

මෙමගින් කොවිඩ්-19 ද ඇතුළුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට හැකිවනු ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසනවා.

ප‍්‍රතිශක්තිකරණ එන්නත් සුරක්ෂිතව ප්‍රවාහනය කිරීමට භාවිතකරන බහාලූම් 500ක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලාංකේය නියෝජිත එමා බි‍්‍රග්හැම් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කාර්යාලයේදී භාරදෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙතයි.

මීළඟ භාණ්ඩ තොගයට අයිස් ආස්තරණය කරන ලද ශීතකරණ 100ක්, ශීතකරණ උෂ්ණත්වය අධීක්ෂණය කරන උපකරණ 145ක් සහ ප‍්‍රතිශක්තිකරණ එන්නත් බහාලූම් 1,000ක් අඩංගු වනවා.

“අප දැන් ආරම්භ කර තිබෙන කොවිඩ්-19 එන්නතේ දෙවෙනි මාත‍්‍රාව ලබාදීම ඇතුළු වර්තමාන එන්නත්කරණ කටයුතුවලට පමණක් නොව සමස්ත ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනටත් මේ උපකරණ ඉතා වැදගත් වෙනවා. මේ තීරණාත්මක අවධියේදී එන්නත්කරණ වැඩසටහන සහ අපගේ ශීතාගාරදාම කළමනාකරණය ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය වන මේ උපකරණ ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් ජපාන රජයට අපගේ ස්තුතිය පුදකර සිටිනවා. ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවක්. අප රටට සහාය දීමට ඔබ කිසි විටෙක පසුබට නොවන බව අප දන්නවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය එහිදී සඳහන් කර තිබෙනවා.

“ඒ වගේම ශීතාගාරදාම උපකරණ සහ ප‍්‍රතිශක්තිකරණය ආශ‍්‍රිත ප‍්‍රසම්පාදන කටයුතුවල නිරත වෙමින් මේ මුළු කාලය පුරා යුනිසෙෆ් ආයතනය ශ‍්‍රී ලංකාවට ලබාදී තිබෙන සහායත්, ඒ ගෞරවනීය හැඟීමෙන්ම මා සිහිපත් කළ යුතුයි. ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් යුනිසෙෆ් ආයතනයට මම මගේ හෘදයංගම කෘතඥතාව පළ කර සිටිනවා” යනුවෙන් ද ඇය තවදුරටත් සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles