Monday, September 23, 2024

කොවිඩ් පාලනයට අද සිට නව නීති

රට තුළ කොවිඩ් ආසාදිතයින් සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එම නව මාර්ගෝපදේශ යටතේ තුන්වන මට්ටමේ කොවිඩ් අවදානමට සරිලන පරිදි මහජන ක්‍රියාකාරකම් සඳහා ලබාදී ඇති අවස්ථාව සංශෝධනය විය යුතු බවය.

නව උපදෙස් මාලාවට අනුව මහජන ඒකරාශී වීම් ඇතුළු ක්‍රියාකාරකම් සඳහා ලබාදී තිබූ අවස්ථාවන් දැඩිලෙස සීමා කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස්,

  • පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණයි.
  • එමෙන්ම කුලී රථ භාවිතයේදී ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණයි.
  • වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.
  • අපනයනය මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුයි.
  • එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුයි.
  • සුපිරි වෙළෙඳසැල් තුළට එක් අවස්ථාවකදී ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදී ඇත්තේ එම වෙළෙඳසැලේ රැඳී සිටිය හැකි මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසක් පමණයි.
  • වෙළෙඳ සංකීර්ණ තුළද මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර හිමිවේ.
  • බන්ධනාගාර රැඳවූවන් හමුවීම සඳහා අමුත්තන්ට අවසර නැත.
  • නැවත දැනුම් දෙනතුරු පාසල්, පෙර පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබේ.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානද විවෘත වන්නේ නැත.
  • විවාහ මංගල උත්සව මැයි මස 04 වන අඟහරුවාදා සිට මැයි මස 20 වනදා දක්වා පැවැත්වීමට අවසර හිමි නොවේ.
  • කොවිඩ් -19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුයි.
  • මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සවද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.
  • එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස් වී සිදුකරන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
  • සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක සහ සැණකෙළි තිබෙන ස්ථාන වසා තැබේ.
  • ආපනශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැක්කේ එහි ආසන පහසුකම්වලින් සියයට 25කට පමණයි.
  • මත්පැන් අලෙවිසැල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන වසා තැබිය යුතුයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles