Saturday, September 21, 2024

කොරෝනා නිසා ජොබ් නැති පිරිස ඉහළට

මෙරට විරැකියා අනුපාතය 2020දී සියයට 5.5 දක්වා ඉහළ ගිය බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව 2009 වසරින් පසුව ප‍්‍රථම වරට එම අනුපාතය සියයට පහ ඉක්වමා ගියේය. 2019 වසරේ සියයට 4.8 ක් වූ සේවා වියුක්ති අනුපාතිකය මෙම වසරේදී සියයට 5.5ක් දක්වා ඉහළ ගියේය.

2019 වසරේදී පිළිවෙළින් සියයට 3.3ක් සහ සියයට 7.4ක් වූ පුරුෂ හා ස්ත‍්‍රී සේවා වියුක්තිය, 2020 වසරේදී පිළිවෙළින්, සියයට 4.0ක් සහ සියයට 8.4ක් දක්වා ඉහළ ගියේය. මේ අතර, කොවිඞ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමඟ ශ‍්‍රම බළකා සහභාගීත්ව අනුපාතය පහත වැටී ඇත. එසේම ගිය වසරේදී (2020) ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයද පහත වැටී ඇත.

මේ අනුව පවත්නා වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය පහළ යෑමේ සහ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියල අවප‍්‍රමාණය වීමේ බලපෑම පිළිබිඹු කරමින්, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් 3852 සිට 2020 වසරේදී ඇමෙරිකානු ඩොලර් 3682 ක් දක්වා පහළ ගොස් ඇත. සමස්ත ආර්ථිකයේ ප‍්‍රමාණයද 2019 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 84.0ක සිට ගිය වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 80.7ක් දක්වා පහළ යෑමටද කොවිඞ් වසංගත තත්ත්වය හේතු වී ඇත.

සමස්තයක් ලෙස ආර්ථිකය සංකෝචනය වුවද, රාජ්‍ය මූල්‍ය හා මුදල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ගවල බලපෑම් හේතුවෙන් 2020 වසරේ දෙවන මාස හයේදී ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළ බවද නවතම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles