Friday, September 20, 2024

GMOA දැන් කියන කතා….

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සිටියදී කොවිඩ් පාලන නීති වෙනස් කිරීමට දේශපාලකයන් කටයුතු කළහොත් මේ කොවිඩ් පාලනය විහිළුවක් බවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ කිසියම් ආකාරයකින් දේශපාලකයින් හා ව්‍යාපාරිකයින් එක්ව එම තීරණ වෙනස් කරන්නේ නම් කොවිඩ් පාලනය කිරීමේ වගකීමද ඔවුන් විසින්ම දැරිය යුතු බවයි.

කැස්බෑව ප්‍රදේශයට පැනවූ හුදෙකලාව යළි වෙනස් කිරීමට යම් දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි කොළඹගේ මහතා මේ බව කියා සිටියේ.

එසේ නම් කොවිඩ් 19 පාලනයද දේශපාලකයින් විසින්ම භාර අරගෙන ක්‍රියාත්මක කළ යුතු බවයි කොළඹගේ මහතා පෙන්වාදෙන්නේ. 

පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ යම් ප්‍රදේශයක් හුදෙකලා කරනවාද නැද්ද යන්න තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල යටතේ වන බිම් මට්ටමේ තීන්දුවක් ලෙස වන අතර ඒ සම්බන්ධයෙන් කරුණු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව එහි අවසන් තීන්දුව නිරෝධායන පනත යටතේ අධිකාරී ලත් තැනැත්තා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගනු ලබන බවත් එය වෙනස් කිරීමට කිසිවෙකුට හෝ බලයක් නොමැති බවත් ඔහු පැහැදිලි කරන ලදී. 

මේ වනවිට දෛනිකව වාර්තා වන රෝගීන් ගණන 2000කට ආසන්න වෙමින් තිබියදී හා දිනකට වාර්තා වන මරණ 10ක් පමණ වාර්තා වන තත්ත්වයක පවතින තත්ත්වය පාලනය කළ හැකිද යන ප්‍රශ්නයද පවතින මොහොතක මෙලෙස දේශපාලකයින් හැසිරීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවයි ඔහු කියා සිටියේ. 
 
කැස්බෑව ප්‍රදේශයේ එලෙස සංචරණ සිමා පැනවීමට තීරණය ගෙන තිබුණේ ග්‍රාම නිලධාරී වසම් 26න 25කම ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වීම නිසාවෙනි. 

විශේෂඥයින් විසින් ගනු ලබන තීරණ දේශපාලකයින් විසින් හෝ ව්‍යාපාරිකයින් විසින් වෙනස් කරන්නේ නම් එය ඉතා අභාග්‍ය සම්පන්න කාරණයක් බවද කොළඹගේ මහතා ප්‍රකාශ කරන ලදී. 

”ව්‍යාපාරිකයින්ට ඕන විදිහට දේශපාලකයෝ නැවුනට කොවිඩ් රෝගය ඒ පළාතේ ව්‍යාපාරිකයින්ට ඕන විදිහට හැසිරෙන්නේ නැහැ. කොවිඩ් නිසා සිදුවන මරණවලට කවුද වගකියන්නේ. මේ වෙලාවේ රෝහල්වල,ICU අඩන්වල තදබදයක් තියෙනවා. මෙය පාලනය කරගත හැකිද නැද්ද යන්න අවිනිශ්චිත තත්ත්වයක් ඉන්නේ. ඒ තත්ත්වය තියෙද්ද මේක පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ග යම්කිසි විදිහකින් අවහිර කරනවා නම් ඔවුන්ට විරුද්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරලවරයා නීතිමය ක්‍රියාමර්ග ගත යුතුයි.” යනුවෙන් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles