Saturday, September 21, 2024

එක් නිලධාරියෙක්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ග නිසා මුළුමහත් ජාතියේම අධ්‍යාපනය වළපල්ලට යැවූ පාසල් සිසුන්ගේ දුරස්ථ අධ්‍යාපන ව්‍යාපෘතිය

වත්මන්  ආණ්ඩුවේ ඉතා විශිෂ්ට දැක්මක් ලෙස ඉමහත් ප්‍රසාදයට ලක්ව 2020 වසරේ දිගහැරුන  දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය ඉතා අසාර්ථක මුහුණුවරක් සමගින් කිසිදු සුභවාදී ප්‍රතිපලයක් නොලබා මන්දගාමී සහ දියාරු ක්‍රියාපිලිවෙතක්  අනුගමනය කරමින් සම්පුර්ණ විනාශ මුඛයට ඇදදැමීමට අධ්‍යාපන අංශයේ එක් නිලධාරියෙක් විසින් කටයුතු කරනු ලැබිය.

මෙය ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පාසල් යෑමට නොහැකිව නිවෙස් වලට කොටුවී සිටින ලක්ෂ 40පමණ වූ සිසු පරපුරේ අනාගතයට එල්ල වූ මරු පහරකි. කෙටියෙන් කිවහොත් ව්‍යාපෘතියේ කිසිදු සාර්ථකත්වයක් නොලබා, අධ්‍යාපන ඇමතිතුමන් විසින් හුදු  මාධ්‍ය සංදර්ශන පවත්වන කිසිදු ප්‍රයෝගික වැඩපිළිවෙලක් නොමැති ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීම අතිශය කණගාටුවට කරුණකි. මෙය  අලුතෙන් පත්වූ ජනතා රජයේ කීර්තිනාමයට මරු පහරකි.

පසුගිය පාලන  සමයේදී ඥාති සංග්‍රහය උඩු දුවමින් රටට අතිමහත් ව්‍යසනකාරී තත්වයක් උදාකිරීමට තුඩු දුන් ආකාරය අපට අමතකව නැත. අධ්‍යාපන අමාත්‍යංශයෙන්ම මෙයට උදාහරණ සැලසිය හැකිය. හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඔහුට හිතැති අයවලුන් පත් කරගෙන මහා පරිමාණ වංචා හා දුෂණ ඔවුන්  හරහා දියත් කළ බව ප්‍රසිද්ධ රහසකි.

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක ඉතිහාසය පුරාවටම සිසු අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කිසිදු සාධනීය කාර්යභාරයක් නොකළ නීල් ගුණදාස වැනි නිලධාරියෙක් රටට අහිතකර තීන්දු තීරණ ගත් පෙර පැවති ආණ්ඩුවේ කොටස්කරුවෙක්ව ආණ්ඩු පෙරළියත් සමග නව රජය යටතේද ඉහතින් සදහන් ව්‍යාපෘතිය තම අතට ගෙන ඉතාමත් ද්වේශසහගත ලෙස මෙම දුරස්ථ අධ්‍යාපන ව්‍යාපෘතිය සම්පුර්ණ අසාර්ථකත්වයට පත්  කර එය කිසිදු පලයක්‌ නොලද ව්‍යාපෘතියක් බවට පත්කරනු ලැබිය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ නිකැළැල් සහ දුරදක්නා නුවණින් යුතුව අදාළ දුරස්ථ අධ්‍යාපන ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබාදෙන ලදී. එනමුදු නීල් ගුණදාස විසින් සහමුලින්ම අදාළ ව්‍යාපෘතිය කඩාකප්පල් කර එයට අදාලව කිසිදු සාර්ථක ප්‍රතිපලයක් සිසු ප්‍රජාව වෙත ලබා නොදී ජනාධිපතිතුමාගේ සංකල්පය බිද දමනු ලැබිය.

මෙම දුරස්ථ අධ්‍යාපන වැඩසටහන් මාලාව මෙලස දියාරු කරහැරිම මගින් සහ වත්මනේ සිදුවෙන්නාක් මෙන් කිසිදු පල ප්‍රයෝජනයක් රහිතව දිගහැරීමට සැලසීම මගින් මෙම ව්‍යසනකාරී අවස්ථාවේ වත්මන් ආණ්ඩුවට කළු පැල්ලමක් එක් කිරීමට දේශපාලන අවස්ථාවාදීන් විසින් උපායමාර්ගිකව කරනු ලබන කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැක.

අධ්‍යාපන ඇමතිතුමන් විසින් මේ  සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා විද්වත්  කාර්ය සාධක බලකායක් පත්කෙරුන අතර ඔවුන්ගේ නිර්දේශ නොතකා  ලොව පුරා අතිශය අසාර්ථක Google තාක්ෂණ මෙවලම් මෙම ව්‍යාපෘතියට ඈදා ගැනීමට උත්සහ කිරීම මෙම අසාර්ථකත්වය පිටුපස තිබෙන ප්‍රධාන සාධකයයි. එනමුත් මෙයට ඍජුව වගකිවයුතු නීල් ගුණදාසගෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඔබ විසින් කාර්ය සාදක බලකාය අනුමත කළ Microsoft Teams දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට පිටුපා ඔබ’විසින්’ස්ථාපිත කිරීමට පිබුරුපත් සකස්කළ Google තාක්ෂණයෙන් යුත් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය හෝ මේ කිසිදු ක්‍රමයකින්වත් රටේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ලබාදීමට ඔබට හැකිවී තිබේද?නැත

රටේ මෙවැනි අවස්ථාවකදී රජයක් ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව ලබාදීමට ගත් ක්‍රියාමාර්ග පිළිබද රජයට නියත ප්‍රශංසාව හිමි විය යුතුය. නමුත් අධ්‍යාපන අමාත්‍යංශය සහ අදාළ නිලධාරියා මෙවැනි ව්‍යාපෘතියක් සැලසුම් කර අදාළ ප්‍රතිපල සිසු පරපුරට ලබාදීමට තරම් සුදුසු තත්වයක සිටීද යන දේ පිළිබද විශාල ගැටළුවක් පවතී.

මෙම දුරස්ථ අධ්‍යාපන ව්‍යාපෘතියේ අසාර්ථකත්වය නිසාම එක එක පාසල් මට්ටමෙන් විවිධ මෘදුකාංග හරහා දරුවන් සම්බන්ධ කරගෙන දුරස්ථ අධ්‍යාපනය මෙහයවිමට ගුරුවරුන් පෙළබි තිබේ. අධ්‍යාපන අමාත්‍යංශයට විශ්වාසදායි හා නිත්‍ය අඩිතාලමක් මේ වනතුරුත් මෙහයවිමට නොහැකිවීම නිසා පෙරකී ලෙස විවිධ පාසල් සහ විවිධ ගුරුභවතුන් විසින් whatsapp, viber වැනි තාක්ෂණ මෙවලම් හෝ යොදාගෙන අදාල විෂයමාලා ආවරණය කිරීමට පෙළබි සිටී. එනමුදු මේවා අධ්‍යාපනය සදහා භාවිතා කරන මෙවලම් නොවේ. මේවා භාවිතයට හුරුවීම තුලින් අතිශය භයංකාර ව්‍යසන වලට අනාගතයේදී සිසු ප්‍රජාව ලක්වීමට ඉඩ ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයට මෙවැනි ව්‍යාපෘතියක් රාජ්‍ය අනුග්‍රහය යටතේ වුවද සපල කරගත නොහැකි පසුබිමක පෞද්ගලික පාසල් විසින් ඉතාමත් තීර පදනමක් උඩ ඉතාමත් සාර්ථක ලෙස අදාල දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදයන් ස්ථාපිත කර අතිශය සාර්ථක ප්‍රතිපල ලබමින් පවතී.

සිසු ප්‍රජාවගේ යහ පැවැත්මට හොද නායකත්වයක් සමගින් මෙම දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය තවත් සුදු අලියෙකු නොවී, රටේ පාසල් පද්ධතිය යලි සාමන්‍ය තත්වයට පත්වන නිෂ්ශිත දිනයක් පෙනෙන තෙක් මානයකවත් නොමැති අවස්ථාවක ඉතා කඩිනමින් රජයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලිය සිසු ප්‍රජාවට අර්ථවත් ප්‍රතිපල ගෙන දෙන ව්‍යාපෘතියක් වනු දැකීම මුළුමහත් රටේම ඒකායන පරමාර්ථය වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles