Saturday, September 21, 2024

කඩිනමින් ඉන්දියාව ‘ස්පුට්නික් V’ එන්නත් ගෙන්වයි

කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උත්සහ දරමින් සිටී.

එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් එන්නත් තොග නොමැති බැවින් නවදිල්ලි, රාජස්ථානය, මහරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල එන්නත්කරණ මධ්‍යස්ථාන වසාදැමීමට ආසන්න බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කොවිඩ් එන්නත් නිෂ්පාදකයෙක් වන භාරත් බයෝටෙක් සමාගමේ සේවකයන් 50කට වෛරසය ආසාදනය වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත්, එන්නතේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන බව භාරත් බයෝටෙක් හි බලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එලඹෙන අගෝස්තු සහ දෙසැම්බර් කාලය අතරතුර ඉන්දියාවට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද රජයේ ඉහළ උපදේශකයෙක් මාධ්‍යයට පවසා ඇත.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’  එන්නත් තොගයක්ද මේ වන විට එරටට ගෙනැවිත් ඇති අතර ඉදිරි සතියේදී එය ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතී.

ඉහළ ජන ඝනත්වයක් සහිත කොල්කටා නගරයද ශීඝ්‍රයෙන් වසංගත ව්‍යාප්තියට නතුවෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස ආසාදිතයන් 343,288 දෙනෙක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හතළිස්ලක්ෂය දක්වා ඉහළ දමමිනි.

ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,999 කි.

ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස්තුන්දහස ඉක්මවා ගියේය.

මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට ලබාදීම සඳහා ඉකුත් සතියේ අනුමැතිය ලබාදීමත් සමග අමෙරිකාවේ නිව්යෝක් හි දරුවන් එන්නත්කරණය ආරම්භ කර තිබේ.

අනෙකුත් ප්‍රාන්තවල දරුවන් එන්නත්කරණය ද ඉක්මණින් ආරම්භ කරන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න් උපදෙස් ලබාදී තිබේ

ලොව පුරා රටවල වෙසෙන 16 කෝටි 18 ලක්ෂය ඉක්මවූ පිරිසක් මේ වනවිට කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටී.

වෛරස ආසාදනයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,358,000 කට අධිකය.
 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles