Monday, November 25, 2024

ආසාදිතයින් මිලියනයක් වාර්තාවීමේ අවදානමක් – සෞඛ්‍ය අංශ අනතුරු අඟවති

දින සියයක් තුළ මෙරටින් කොවිඩ් රෝගීන් මිලියනයක් වාර්තා වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

“අපේ සාමාන්‍ය ගණනය කිරීම් අනුව දින 5 හෝ 6ක් ඇතුළත මේ රෝගය තවත් කෙනෙකුට බෝ කරනවා නම් සෑම දින 5කට වතාවක් මේ රෝගීන් සංඛ්‍යාව දෙගුණ වෙනවා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම දින 100ක් පමණ කාලයක් ගතවෙනකොට 20 වතාවක් දෙගුණ වුණොත් මිලියනය ඉක්මවලා මේ රෝගීන් වාර්තා වෙන්න පුළුවන්.”

මේ අතර පසුගියදා බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ දී මියගිය 68 හැවිරිදි කාන්තාව කොවිඩ් ආසාදිතයෙකු බව PCR පරීක්ෂණයෙන් පසුව තහවුරු වී තිබුණි.

ඇයගේ මරණයෙන් පසුව සැමියා ද නිවසේදීම මියගොස් ඇත්තේ වෛරසය ශරීරගතවීමෙනි. 

සෞඛ්‍ය අංශ පැවසුවේ, මියගිය දෙපළගේ දරුවන් සිව්දෙනාට සහ එම නිවසේ සිටි තවත් ඥාතීන් දෙදෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවය. 

යටියන්තොට නගරය වෙළෙඳසැල් සේවකයින්ට අහඹු ලෙස සිදුකරන ලද කොවිඩ් පරීක්ෂණවලදී 14 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව ආසාදිතයින් සිටි කඩසාප්පු වසා දමා එහි සිටි පිරිස් නිරෝධායනයට යොමු කෙරුණි. 

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අදත් කොළඹ ප්‍රදේශ කිහිපයකදී සිදුවිය.

එමෙන්ම ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ගෙන තිබූ පොලිස් නිලධාරීන්ට 500කට එහි දෙවන මාත්‍රාව අද ලබාදුන්නේ, බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදීය.

අද වනවිට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 925,242ක් සඳහාත් දෙවන මාත්‍රාව 292,457ටත් ලබාදී ඇති අතර සයිනොෆාම් පළමු මාත්‍රාව 424,823 ටත් දෙවන මාත්‍රාව 2,435ටත් ලබා දී තිබේ.

“ස්පුට්නික් V” එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ගණන 14,699 කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles