Sunday, September 22, 2024

5000 නොලැබුණොත් අමතන්න…

කොළඹ දිස්ත්‍රික්කය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ජංගම වෙළෙඳුන් 8,895ක් මේ වන  විට ලියාපදිංචි කර ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

එම වෙළෙඳුන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 නියෝජනය කරමින් අදාළ ලියපදිංචි බලපත්‍ර නිකුත්කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වෙත ජංගම වෙළෙඳුන් නොපැමිණියේ නම් හෝ පැමිණි වෙළෙඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කිරීමට 011 – 2369139 යන දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබාගැනීමට හෝමාගම ප්‍රාදේශිය සභාව ඉදිරිපිටට විශාල පිරිසක් රැස්වීමත් සමඟ එහි ඇතිවුයේ නොසන්සුන් තත්ත්වයකි.

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයද අද පෙරවරුවේ තොග වෙළඳාම සඳහා විවෘත කර තිබුණි.

එමෙන්ම තොග වෙළෙඳාම සඳහා වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘතව පැවතියේය.

සංචරණ සීමා හේතුවෙන් කැප්පෙටිපොල සහ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අද වසා තැබුණද, ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයන් අපැහැදිලිවීම හේතුවෙන් ගොවින් සිය අස්වැනු රැගෙන ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ තිබුණි.

ආර්ථික මධ්‍යස්ථාන වසා තිබීම හේතුවෙන් ගොවින් සිය අස්වැනු අලෙවි කිරීම සිදුකළේ ආර්ථික මධ්‍යස්ථාන ඉදිරිපිටය.

මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා තිබීම හේතුවෙන් අස්වැනු රැගෙන පැමිණි ගොවින්ට යළි හැරියාමට සිදුවිය. 

එමෙන්ම පැලියගොඩ මැනිං තොග වෙළඳපොලද සංචරණ සීමා හේතුවෙන් අද වසා තැබුනද, නිකුත් කළ නිවේදනයන් අපැහැදිලිවීම හේතුවෙන් ඇතැම් වෙළඳුන් සිය එළවළු සහ පළතුරු තොග රැගෙන අද එහි පැමිණ සිටියේය.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ හෙට (30) දිනයේ කෘෂි නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ගොවීන්ට අවසර හිමිවන බවය.

“මැයි මාසයේ 30 වන ඉරිදා බස්නාහිර පළාතෙන් පිටත පවතින දඹුල්ල, තඹුත්තේගම, කැප්පෙටිපොළ, ඇඹිලිපිටියේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම් සඳහා විවෘතව පවතී. ඒ වගේම 31 වන දා බස්නාහිර පළාතේ තිබෙන ආර්ථික මධ්‍යස්ථාන නාරාහේන්පිට, බෝකුන්දර, මීගොඩ, රත්මලාන, වැලිසර හා වේයන්ගොඩ විවෘතව පවතී.“

මේ අතර හුදකලාභාවයට පත්කර ඇති ප්‍රදේශවලට බෙදාහැරීම සඳහා 5000 බඩු මල්ල සකස් කරනු ලබන රත්මලාන මෙගා සතොස අලෙවිසැල වෙළඳ අමාත්‍යවරයා අද පස්වරුවේ නිරීක්ෂණයට කළේය.

මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, “1998 අංකයට අමතලා 1 වෙනිදා සිට නිවසට ම භාණ්ඩ ගෙනැවිත් දෙන වැඩපිළිවෙලකුත් සකස්කරලා තියෙනවා.“ යනුවෙනි.

මේ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් රජය මාසිකව ගෙවනු ලබන වැඩිහිටි දීමනාව ඊයේ තැපැල් කාර්යාල හරහා බෙදාදීම සිදුකෙරුණි.

කෙසේ වෙතත් ඇතැම් තැපැල් කාර්යාලවල ඒ සඳහා නිසි කටයුතු සුදානම් වී නොතිබීම හේතුවෙන් එම දීමනාව ලබාගැනීමට පැමිණි ඇතැමුන් පිඩාවට පත්වු අකාරයක්ද දකින්නට ලැබුණි.

සමෘර්දිලාභින්, අඩු අදායම්ලාභින් සහ කොවිඩ් වසංගතය හේතුවෙන් අදායම් අහිමිවුවන් සඳහා රජය මගින් රුපියල් 5000 දීමනාව ලබාදීම සම්බන්ධයෙන් අද විෂය භාර අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.

මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, “මේ තෝරාගැනීමේ බලය අපි විමධ්‍යගත කරලා තියෙනවා ග්‍රාමසේවා වසමට. කිසියම් කෙනෙකුගේ නම ඇතුළත් නොවෙනවා නම් ඔහු සුදුස්සෙක් නම් ඔහුව ඇතුළත් කිරීමේ බලය ග්‍රාමීය කමිටුවට හිමිවෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය බලය දීලා තියෙනවා. ජනතාවට තේරෙනවා නම් මෙයාව තෝරාගෙන නෑ. නමුත් තෝරාගත යුතුයි කියලා අග්‍රාමාත්‍ය කාර්යලය විසින් මෙහෙයවන 1965 කියන අංකයට ඔවුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළ හැකියි.“ යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles