Saturday, October 5, 2024

ජනතාවගේ උනන්දුවෙන් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක බව පෙනෙනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

විපක්ෂය විසින් කුමන චෝදනා එල්ල කළද, එන්නත්කරණ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර ඒ සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව හා විශ්වාසය කොවිඩ් වසංගතය පාලනය සඳහා වඩාත් වැදගත් වී තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සදහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා එලෙස පැවසීය.

’’කොවිඩ් වසංගතය පාලනය කිරීම රජයේ ප්‍රම්‍රඛතම කාර්යය වී තිබෙනවා. මේ සඳහා සිදු කරන එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව සිදු වීම අපේ රටේ සෞඛ්‍ය සේවයේ ජයග්‍රහණයක්. එන්නත්කරණ වැඩපිළිවෙලට අවශ්‍ය පහසුකම් සැලසීම මෙන්ම සංචරණ සීමාවන් පවතින කාලයන් තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා ලබාදීමට කටයුතු කරනවා. මේ සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල විපක්ෂය විසින් විවේචනය කිරීම එම කාර්යයේ නිරතව සිටින නිලධාරීන්ගේ චිත්තධෛර්යයට කරන පීඩාවක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන වයස් සීමාවන් සඳහා මේ වසර අවසානයට පෙර එන්නත්කරණය සිදු කිරීම රජයේ අරමුණයි. කුහක විපක්ෂයට අද මේවා බලාගෙන ඉන්න බෑ. කොවිඩ් රෝගීන් වැඩිවීම, මරණ වැඩිවීම තමයි අද අපේ විපක්ෂය බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ එන්නත් ක්‍රියාවලිය විවේචනය කරනවා. අද යහපාලනය බලයේ හිටියා නම් රට විශාලා මහනුවරක් වෙලා. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය මේ අවස්ථාවේදී විශාල වැඩ කොටසක් ඉටු කරනවා වගේම ඔවුන් මේ අවස්ථාවේදී කරන කැපකිරීම අගය කළ යුතුයි.

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම විපක්ෂයේ බලාපොරොත්තුව වූයේ කොවිඩ් වසංගතයෙන් රට අසීරු තත්ත්වයකට පත් වී රටේ ආර්ථිකයත් විනාශ වනු දැකීමයි. ඒ නිසා එන්නත්කරණ වැඩපිළිවෙල ඔවුන් විවේචනය කරමින් ජනතාව අතරට වැරදි ප්‍රචාරයක් ගෙන යාමට උත්සහ කරනවා. එයින් පෙනීයන්නේ විපක්ෂයේ ඇති බංකොලොත්භාවයයි. එදා යුද්ධය පැවති අවස්ථාවේත් විපක්ෂයේ සිටින මෙම පිරිස පවසා සිටියේ යුද්ධය ජයග්‍රහණය කළ නොහැකි බවයි. නමුත් වසර 30 ක යුද්ධය අවසන් කොට රටට සාමය උදාකර දුන්නා. අද ලොවපුරා පැතිර යන වසංගතයකට මුහුණ දෙමින් එය පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටිනවා. මේ සියලු කටයුතු සිදු කරන අතරේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වගේම ජනතාව පීඩාවට පත් නොවන අයුරින් කටයුතු කිරීම රජයේ අරමුණ වී තිබෙන බව’’ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles