Saturday, September 21, 2024

ඔබවහන්සේලා කවුද මේ පත් කරගත්ත නායකයෝ කියලා ජනතාව අපෙන් අහනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ජනතාව අද නායකයෙක් පත් කරගත්තත් අද අපට පේනවා ඒ ජනතාවම අද චෝදනා මුඛයෙන් කථා කර, ඔබවහන්සේලා කවුද මේ පත් කරගත්ත නායකයෝ කියලා ජනතාව විමසන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසූහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව නාරාහේන්පිට අභයාරාමයට පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ,

“මම හිතන හැටියට අනෙකුත් පක්ෂ දියුණු වුනේ එක්සත් ජාතික පක්ෂයට පසුවයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මව් සංගමයක්. මේ මව් සංගමයේ අනිත් ඒවායේ කොහොම වුනත් හිටිය හොඳ අවංක නායකයෝ හිටියා. පසුකාලීනව පොඩි පොඩි වෙනස් කම් ඇති වුණා. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පස් වතාවක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වුණා. ඒ කාලය තුළ රටේ ජනතා නායකයෙකු වශයෙන් එතුමාට කළ යුතු, කළ හැකි සියල්ලක්ම මං හිතනවා එතුමා අතින් ඉටු වුනා කියලා. අංග සම්පූර්ණ අය කොතනකවත් නෑ. නොයෙකුත් අඩුපාඩුකම් දුර්වලකම් තිබුණත් පසුගිය වකවානුව තුළ නොයෙක් නොයෙක් අග හිඟකම් ඇති වුණත් මෙතුමා රටට ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, ආගමික වශයෙන්, රටේ නායකයෙකු වශයෙන් එතුමාගේ බලතුරණේ ඉඳගෙන එතුමාට කළ හැකි සියල්ලක්ම රට වෙනුවෙන් සිද්ධ කළා. මම මේ පක්ෂ දේශපාලනයෙන් තොරවයි මේ කථා කරන්නේ.

ඕන කෙනෙක්ව විවේචනය කරන්න අපට පුලුවන්. නමුත් මම හිතන්නෙ නෑ මේ රටේ විවේචනය නොවුන නායකයෙකු ඇති කියලා. හැමෝගෙම මොනව හරි අඩුවක් තියෙන්න පුලුවන්. පසුගිය වකවානුව තුළ එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් රාජයට පත් වුණා. කෙසේ වෙතත් අපි යට ගියාව පැත්තක දාලා අතීතය සිහිපත් කරගමු. මේ රටේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ඕන නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්මා. මොකද ඒ කාලේ රටේ ජනතාව කිව්ව කතාවක් තමයි පාලකයන්ට අමතක වුනත් අපට අමතක වෙන්නෙ නෑ කියලා.

ඒ කාලේ මේ රටේ ජනතාවගෙන් ආපු හඬක් වුනා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඔලුවත්, මහින්ද මහත්තයගේ ශරීරයත් එකට එකතු කළොත් මේ රටට විශාල සේවයක් කරන්න පුලුවන් කියන හැඟීම. ඒක මේ රටේ ජනතාවගේ මුවින් පිට වුණ දෙයක්, මම හදපු මම කියන එකක් නොවේ.

කොහොම වුනත් අපි සන්තෝසයට පත්වෙනවා එතුමා විවේක සුවයෙන් ඉඳලා නැවත වාරයක් පක්ෂයේ නායකයා විදියට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එතුමාගේ පැමිණීම අපි සැමටම හොඳයි කියන එකයි මගේ විශ්වාසය. ඒ මොකද අපි එතුමාව පක්ෂ දේශපාලන වශයෙන් නොවේ පුද්ගලික වශයෙන් නිරන්තරව ආශ්‍රය කළා. අපි නිරන්තරව ඒ කාල සීමාව තුළ අපේ මාදුරාවේ සෝභිත හාමුදුරුවෝ, බෙල්ලන්විල විමලරතන නායක හාමුදුරුවෝ, බ්‍රාහ්මණවත්තේ සීවලී හාමුදරුවෝ මම ආදී පිරිස එතුමා හමුවෙලා කතා බහ කළා. රට පිළිබඳව අපි සමග නිරන්තරව කතා කරලා තියෙනවා.

අද එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම අපි කවුරුත් අගය කරන්නට ඕන. මොකද අද අපි බැලුවම මේ රටේ ජනතාව ලොකු බලාපොරොත්තුවක් ඇති කරගෙන හදපු යහපාලන ආණ්ඩුවම මේ රට විනාශ කරනවා කියන සංකල්පය ජනතාව තුළ එදා තිබුණා. අපි තුළත් තිබුණා. රටේ පාලකයෝ අයහපත් නම් හමන සුළඟත්, වහින වැස්සත් වෙනස් වෙනවා ස්වභාවධර්මය වෙනස් වෙනවා කියලා බුදුගුණ අලංකාරයේ ඉතාම පැහැදිළිව තිබෙන දෙයක් තිබෙනවා.

මං හිතනවා අපි ඒවා මුසු කරගෙන තමයි ජනතාව ලඟට ගිහින් කරුණු කාරණා පහදලා දිලා මේ රට ගොඩගන්න පුලුවන් හොඳ නායකයෙක් මේ රටට පත් කරන්න ඕනයි කියන එක ජනතාවගෙන් ඉල්ලන්න ඕන. ජනතාව අද නායකයෙක් පත් කරගත්තත් අද අපට පේනවා ඒ ජනතාවම තමයි අපටත් අද චෝදනා මුඛයෙන් කථා කරලා අහන්නේ ඔබ වහන්සේලා කවුද මේ පත් කරගත්ත නායකයෝ කියලා. අද අපේ රටේ ජනතාවගෙන් දිගින් දිගටම නැගෙන හඬක් තමයි ඒ.

ඒ නිසා අපට අවශ්‍යකම තිබෙනවා පක්ෂ දේශපාලන පැත්තක දාලා ඔබතුමාගෙන් බොහෝම කාරුණිකව ඉල්ලා හිටිනවා මේ වෙලාවේ පක්ෂයට වඩා අපේ රට, අපේ ජාතිය වැදගත්, අපේ ජාතිය උතුම්, අපේ රට උතුම්. අද අපි දන්නවා පාට පක්ෂ වෙන්කරගෙන බේද කරගෙන කුලල් කාගෙන ක්‍රියාකරනවා මිස රට ගැන කවුරුවත් හිතන්නෙ නැහැ.

මම දන්නවා ඔබතුමාට රට ගැන හිතන්න පුලුවන්, ජනතාව ගැන හිතන්න පුලුවන් හොඳ මනසක් ඔබතුමා ලඟ තිබෙනවා. අපව කවදාවත් මග හැරලා නැහැ. ඒ නිසා ඔබතුමා අද මේ නැවත වාරයක් පාර්ලිමේන්තුවට පත්වෙලා දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ප්‍රාණ ඇපකාරයෝ වගේ ඉන්නෙ නැතිව කටයුතු කරන්න. දැන් අපට පේනවා කැබිනට් මණ්ඩලයක් තිබුණට අඩු පාඩු කොතෙකුත් තිබෙනවා. මේ මුළු කැබිනට් මණ්ඩලයම අද ප්‍රාණ ඇපකාරයෝ බවට පත්වෙලා. රටේ අඩුපාඩු, ජනතාවගේ අඩු පාඩු පිළිබඳ කතා කරන්නෙ නැතිව තම තමන්ගේ ආරක්ෂාව පිණිස යම් යම් කටයුතු කරනවා.

මම ඔබතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලන්නේ මේ මිහිඳු මහ රහතන් වහන්සේ වැඩමවා කළ පොහොසන් කාලයේ. එදා දේවානම්පියතිස්ස රජතුමාට අපේ මිහිඳු මහ රහතන් වහන්සේ දුන් අවවාදය මොකද්ද, “මහරජ ඔබ මේ රටේ අයිතිකාරයෙක් නොවේ. ඔබ මේ රටේ භාරකාරයෙක්“ කියන එකයි එදා මතක් කළේ. ඒ නිසා ඔබතුමා ගැනත් විශ්වාසය තබාගෙන මේ රටට පුළුවන් තරම් දුරට ඔබතුමාට සත්‍යවන්තව දැන් මේ රට ගොඩගන්නට ඔබ තුමාගේ සහයෝගය ලබා ගන්න තමයි ඕන. මං හිතනවා ඔබතුමාට ජනතාව මොන මට්ටමින් හිතුවත් ඔබතුමාට එය ලබා දෙන්න පුලුවන්කම තිබෙනවා. ඔබතුමාගේ පාක්ෂිකයෝ, ඔබතුමාගේ පැරණි පාක්ෂිකයෝ මොන මට්ටමින්  කල්පනා කළත් අපි විශ්වාස කරන්නේ ඔබතුමාට හොඳ බුද්ධියක් තිබෙන දුර දක්නා නුවණක් තිබෙන  යමක් කරන්න පුලුවන් නායකයෙක් කියන එකයි.

මට මතකයි මම මේ වෙලාවේ කෘතගුණ සැළකීමක් වශයෙන් මතක් කරන්න ඕන. එදා හෙදියන්ට  පුහුණුවට දෙන ඩිප්ලෝමා සහතිකයක් තිබුණේ නැහැ. කඩදාසි කැබැල්ලක් තමයි ලැබුණේ. ඔබතුමා තමයි පළමුවෙන් හෙද කාර්යය මණ්ඩලයට ඒ කඩදාසි කැබැල්ල ඩිප්ලෝමා සහතිකයක් බවට පත් කරලා ලබා දුන්නේ. ඒ ගැන මේ රටේ දැනට ඉන්න 38000 ක නිලධාරින් සාක්ෂි දරනවා. ඒක මින් පෙර කවුරුවත් කළේ නැහැ. ඔබතුමා ඉතාම වැදගත් කාර්යයක් තමයි ඒ සිද්ධ කරලා දුන්නේ. ඒක කවදාවත් හෙදියන් අමතක කරන්නෙ නැහැ. එහා පැත්තෙ පින්තූරයකුත් එල්ලලා ඇති. අන්න ඒ වගේ ඔබතුමා හොඳ ඇහුම්කන් දීමකින් කටයුතු කළා වගේ ඉදිරියටත් එහෙම කරන්න. ඔබතුමාට හොඳ දැක්මක් තිබෙනවා, ඉදිරියක් තිබෙනවා. මේ ඉදිරිය තුළ ඔබතුමා හොඳට කල්පනා කරලා රටත්, ජාතියත්, ජනතාව ගැනත් බලලා ක්‍රියාකරන්න පුලුවන්.

පාලකයන්ට තිබිය යුතු කරුණු 10 ක් අපේ බුදු හාමුදුරුවෝ වදාලව තිබුණා. දැන් ඉන්න අය කොහොම පත් කරත් ඒ කරුණු 10 කෙරෙනවා කියලා මට කියන්න අමාරුයි. එහෙම වුනා නම් මේ රට මේ තත්ත්වයට පත්වෙන්නෙ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ පාලකයෝ පිළිබඳව මිනිස්සු පිළිබඳව බොහෝ දේවල් වදාළව තිබෙනවා. ඔබතුමාට එක්සත් ජාතික පක්ෂයේ නායක වශයෙන් පාර්ලිමේන්තුවේ ආසනයක් ලැබුනා. එය ආසනයක් පමණක් නොවී ජනතාව රැක ගැනීමට කාර්යය භාර්යයක් කරයි කියලා අපි විශ්වාස කරනවා. ජනතාවගේ විශ්වාසය තහවුරු කරමින් ඒ තනතුර ආලෝකමත් කරන්න ඔබතුමාට ශක්තිය, දහිරිය, වාසනාව ලැබේවා. ඇතිවෙන යම්කිසි කරදර ආදියක් ඇත්නම් තුණුරුවන්ගේ සරණනින්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන්, දළඳා හාමුදුරුවන්ගේ රැකවරණයෙන් ආරක්ෂා වේවා.“

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද එක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles