Monday, September 23, 2024

බොලිවුඩ් රජු දිලිප් කුමාර් (98) ලොවෙන් සමුගනී…

උපත හා කුඩා කාලය

බොම්බාය කේන්ද්‍ර කොටගත් බොලිවුඩ් සිනමාපට මඟින් ජනප්‍රිය වුව ද, දිලිප් කුමාර් උපන්නේ 1922 වසරේ දෙසැම්බර් මස 11 වැනි දා වර්තමාන පාකිස්ථානයට අයත්  පේෂාවර් නුවර, ක්විසා ක්වානි බසාර් නම් ස්ථානයේ දී යි. ඉස්ලාම් භක්තික පවුලක උප්පත්තිය ලද ඔහුට නම් තැබුණේ මොහොමඩ් යූසුෆ් ඛාන් ලෙස යි. ඔහුගේ පවුලෙහි සොයුරු සොයුරියන් 12 දෙනෙකු වුණා

1947 වසරෙහි ඉන්දියාව හා පාකිස්ථනය දෙකඩ වන්නට වසර කිහිපයකට පෙර ඔවුන්ගේ පවුල බොම්බායට සංක්‍රමණය වූ අතර, එහි දී තරුණ යූසුෆ් එකල හින්දි සිනමාවේ ජනප්‍රිය තාරකාවක් වූ දේවිකා රාණිගේ ඇස ගැටෙනවා. ඇයගේ ආරාධනයෙන් බොලිවුඩයට ඔහු අත්පොත් තැබුවේ දිලිප් කුමාර් යන නාමයෙනුයි.

සිනමා දිවිය

දිලිප් කුමාර් රංගනයෙන් දායක වූ පළමු සිනමා පටය වන්නේ 1944 වසරේ තිරගත වූ ‘ජ්වාර් බතා‘ නම් චිත්‍රපටය යි. නමුත් එය වාණිජ අතින් ඉතා අසාර්ථක වෙනවා. ඊට වසර තුනකට පසු හෙවත් 1947 දී තිරගත වූ ‘ජුග්නු‘ චිත්‍රපටය දිලිප්ට වාසනාව ගෙන එනවා. මේ චිත්‍රපටයෙන් බොලිවුඩ් රසිකයන්ගේ හද බැඳගැනීමට ඔහු සමත් වූ අතර, 1949 දී ඔහු රඟපෑ තවත් සාර්ථක නිර්මාණයක් වන ‘අන්දාස්‘ තිරගත වෙනවා. මෙහි ඔහු රාජ් කපූර් සමග රංගනයෙන් දායක වුණා.

1950 දශකය දිලිප් කුමාර්ගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය දශකය යි. එය ආරම්භයේ දී ම අතිමහත් ජනප්‍රියත්වයක් ඔහු කෙරෙහි ඇතිවුණු අතර, සිනමා නිර්මාණයන් ද රාශියක් ඔහු වෙත ගලා ආවා. දීදාර් (1951), ආන් (1952), අමර් (1954), ඉන්සානියත් (1955), දෙව්දාස් (1955), අසාද් (1955), සහ මධුමතී (1958) ඒ අතර ඉතා සාර්ථක නිර්මාණ වුණා. මේවායින් කිහිපයක ම ඛේදාන්තයකින් අවසන් වන චරිත ඔහු විසින් නිරූපණය කිරීම නිසා ‘ඛේදාන්ත රජු’ ලෙස ඔහුට නමක් පටබැඳුණා.

1960 දශකයේ දී දිලිප් කුමාර් තව තවත් ජනප්‍රියත්වයට පත්වුණා. ඒ හොඳ චරිතාංග රංගනයන් ඉදිරිපත් කළ හැකි චරිත කිහිපයක් ම ඔහුට නිරූපණය කිරීමට ලැබීම නිසා යි. විශේෂයෙන් 1960 වසරේ තිරගත වූ ‘මෝග්ලි ඇසෑම්’ චිත්‍රපටය එවකට බොලිවුඩය සතු ව තිබූ බොක්ස් ඔෆිස් වාර්තා රාශියක් බිඳහෙළුවා. ඉන්පසු, වසරේ ඔහු විසින්ම ගංගා ජමුනා (1961) චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර, එය ද ප්‍රේක්ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයකට බඳුන් වුණා. කෙසේ නමුත් 1964 වසරේ ඔහු රඟපෑ ‘ලීඩර්‘ සිනමාපටය සිතූ තරම් වාණිජමය වශයෙන් සාර්ථක වූයේ නැහැ. දිල් දියා දාර්ද් ලියා (1966) චිත්‍රපටයට උරුම වූයේත් එම ඉරණම ම යි. කෙසේ නමුත් 1967 වසරේ තිරගත වූ ‘රාම් ඕර් ශ්‍යාම්’ චිත්‍රපටය අතිශය ජනප්‍රිය වීමත් සමග දිලිප් කුමාර් බොලිවුඩ් සිනමාවේ සාර්ථක පුනරාගමනයක් සනිටුහන් කළා. මෙහි ඔහු සම නිවුන් සොයුරන් දෙදෙනෙකුගේ චරිත නිරූපණය කළා.

1970 දශකය දිලිප් කුමාර්ගේ සිනමා ජීවිතයට එතරම් හොඳ කලක් වූයේ නැහැ. මෙකල තරුණ අමිතාබ් භච්චන් හා රාජේශ් ඛන්නා ඉතා ජනප්‍රිය වීමත්, දිලිප් කෙමෙන් කෙමෙන් වයෝවෘධ වීමත් නිසා ඔහුගේ ජනප්‍රියත්වය කෙමෙන් කෙමෙන් අඩු වන සෙයක් දිස්වුණා. 1976 වසරේ තරමක් ජනප්‍රිය වූ ‘බයිරාග්’ චිත්‍රපටයට දායක වීමෙන් අනතුරු ව ඔහු කෙටි කලෙකට සිනමාවෙන් ඉවත් ව සිටියා. ඉන් අනතුරුව නැවත කරළියට පැමිණි ඔහු 80 දශකයේ දී ක්‍රාන්ති (1981), ශක්ති (1982), විදාතා (1982), හා කර්ම (1986) වැනි සාර්ථක චිත්‍රපටවල රඟපානවා.

දිලිප් කුමාර්ගේ අවසාන සාර්ථක රංගනය ඇතුළත් වූයේ සෞදාගර් (1991) චිත්‍රපටයේ යි. 1996 වසරේ ඔහු අධ්‍යක්ෂණයට අතගසන්නට උත්සාහ කළත්, එය සාර්ථක වූයේ නැහැ. 1998 වසරේ ‘කුයිලා‘ චිත්‍රපටයේ පෙනී සිටිමින් ඔහු රංගනයට ආයුබෝවන් කියනවා. මේ වන විට ඔහු 76 වන වියෙහි පසුවුණා.

දිලිප් කුමාර් කලක් ඉන්දීය පාර්ලිමේන්තුවේ ද නිලයක් දැරුවා.

විවාහය හා පෞද්ගලික දිවිය

දිලිප් කුමාර් විවාහ වන විට 44 වියැති වූ අතර, ඔහු අත ගත්තේ තවත් බොලිවුඩ් තාරුකාවක් වන සහිරා භානු යි. කෙසේ නමුත් මේ විවාහය යම් යම් බිඳවැටීම්වලින් යුක්ත එකක් වුණා. දිලිප් 1980 දී අස්මා නම් තවත් කාන්තාවක් විවාහ කරගත් නමුත් ඉක්මනින් ම ඇය දික්කසාද කර දැමුවා. ඉන් අනතුරුව දිලිප් හා සහිරා යුවල සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.

සම්මාන හා ජනප්‍රියත්වය

දිලිප් කුමාර් සිය සිනමා ජීවිතය පුරාවට ම විවිධාකාර සම්මාන හා ගරු බුහුමන් රාශියක් ලැබුවා. මේ සඳහා ඔහු අනුගමනය කළ ස්වභාවික රංග රටාව ඉවහල් වන්නට ඇති බව විචාරකයින් පවසනවා. චරිතයක් වහා අවබෝධ කරගෙන විවිධත්වයකින් යුතු ව ඉදිරිපත් කිරීමේ නිසඟ හැකියාවක් තිබූ ඔහු, ෆිල්ම්ෆෙයාර් ඉතිහාසයේ වැඩි ම වතාවක් හොඳම නළුවා ලෙස සම්මාන ලැබූ රංගන ශිල්පියා ලෙස වාර්තාවක් තබා තිබෙනවා. 1992 වසරේ ෆිල්ම්ෆෙයාර්  සම්මාන උළෙලේ දී පුද්ගලයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන Filmfare Lifetime Achievement Award නම් සම්මානය ලබන්නට තරම් වාසනාවන්ත වුණා.

1994 දී බොලිවුඩ් සිනමාවට කළ අනුපමේය මෙහෙවර වෙනුවෙන් දිලිප් කුමාර් ‘දාදා සහෙබ් පාල්කේ‘ සම්මානයෙන් පුද ලබනවා. උපතින් පාකිස්තානු ජාතිකයෙකු වූ නිසා ඔහුට පාකිස්තානයෙන් ද නිශාන් ඊ ඉමිතියාස් සම්මානය ලැබෙනවා. ඒ ඔහු විසින් දියත් කළ සමාජ සුබසාධන වැඩ කටයුතු නිසා යි.

දිලිප් කුමාර් මුම්බායි නගරයේ පිහිටි හින්දුජා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 98වන වියේ පසුවිය.

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ඔහු ඉකුත් බදාදා රෝහලට ඇතුළත් කර තිබුණි.

සටහන – දිනිඳු ඒකනායක (ROAR MEDIA)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles