Thursday, September 26, 2024

ස්ටාලින් සටන අත්නොහරී…

ගුරු සංගම් නායකයින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යාමට විරෝධය පළ කරමින් ගුරු සංගම් 14ක් අද (12) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය කටයුතු මුළුමනින්ම අඩපණ විය. 

ඇතැම් ගුරුවරුන් සටහන් තබමින් දරුවන් දැනුවත් කර තිබුණේ ඔන්ලයින් ක්‍රමය හරහා අධ්‍යාපන කටයුතු සිදුනොකෙරෙන බැවින් පසුගිය දිනවල සිදුකළ පාඩම් යළි අධ්‍යනය කරන ලෙසය.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ගුරු වෘත්තිය සමිති නායකයින් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියේය.

ඒ පිළිබඳ අදහස් දක්වන ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා,

“මුදලට උපාධිය විකිණීමට තමයි මේ සුදානම් වෙන්නේ. සයිටම් දක්වා සියලු දේවල් පරාජය කළා වගේ මේකත් අනිවාර්යයෙන්ම අපිව නිරෝධායන මධ්‍යස්ථාන නෙමෙයි, හිරගෙවල් නෙමෙයි මොකේ දැම්මත් අපි අනිවාර්යයෙන්ම මේක පරාජය කරනවා කරනවාමයි කියන කාරණාව කියන්න කැමතියි. අපි කාටවත් කොරෝනා නෑ. අපිව ගෙනල්ලා මෙහේ දාලා පොලීසියට මොකද්ද තියෙන බලය මිනිස්සුන්ව කුදලගෙන ඇවිල්ලා හමුදා කඳවුරුවල රඳවන්න. මේ තියෙන තොරතුරුවලට අනුව ලංකාවේ ම ඔන්ලයින් නැහැ. මේක දිගටම යන ක්‍රියාවලියක්.”

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව පසුගිය 8 වැනිදා විරෝධතාවයේ නිරත වු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් හා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇතුළු 33 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව විරෝධතාකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණත් පොලීසිය ඔවුන් මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගියේය.

මේ අතර නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය ද අද ලිප්ටන් වටරවුමේදි ගුරු වර්ජනයට සහාය පළ කරමින් උද්ඝෝෂණයක නිරත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles