Wednesday, September 25, 2024

ප්‍රජාතන්ත්‍රවාදී රටක කුදලගෙන අරන් යන්න බැහැ – රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

නිරෝධායනය නිතී පවතින විට උද්ඝෝෂණය කිරීම වැරදි බවත්, ඔවුන් රැගෙන ගිය ක්‍රමවේදය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.


රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව, කොච්චිකඩේ නගරයේ රථවාහන තදබදය නිරීක්ෂණය කිරිමේ අවස්ථාවට අද (12) දින සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,


නිරෝධායන නීති පවතිනවා. එම නීති පවතිද්දී උද්ඝෝෂණ කිරීමත් වැරදියි. උද්ඝෝෂණය කරපු අය එලෙස අරන් ගියපු එකත් වැරදියි. නිරෝධායන නීති කාලය තුළ විශාල පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම තුළ නීතිය කඩ කිරීමක් කළා. නමුත් ඔවුන් අරන් ගිය ක්‍රමවේද පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කවුරු හෝ නිරෝධායන නීති කඩකරනවා නම් ඔවුන් නිවෙස්වල නිරෝධායනය කරන ලෙසයි මම කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක කුදලගෙන අරන් යන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඒ අරන් ගිය ක්‍රමවේදය වැරදි බව මම ආණ්ඩුව නියෝජනය කළත් කියන්න ඕන. එය නිවැරැදි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.


නව කැලණි පාලම සිට අතුරුගිරිය දක්වා කණු මතින් යන අධිවේගී මාර්ගය පිළිබඳව විපක්ෂය වැරදි ප්‍රචාරයන් ගෙන යනවා පරිසරයට හානි කරනවා කියලා. මාලඹේ, බත්තරමුල්ල සිට රාජගිරිය හරහා කොළඹ පැත්තට පැමිණීමේදී පැයකට වඩා මහ පාරේ රස්තියාදු වීම සියලු දෙනා දන්නා කරුණක්. කොළඹ ඉදලා බත්තරමුල්ල දෙසට යන්න ගියත්, බත්තරමුල්ල ඉදලා කොළඹ දෙසට එන්න ගියත් පැයකට වඩා යනවා. විශේෂයෙන් බත්තරමුල්ල, මලඹේ ප්‍රදේශ වල සිට කොළඹට එන පාසල් ළමුන් පාන්දර පහට පමණ නැගිටලා පැමිණෙන්නේ. එච්චර වෙලා යනවා. ඒ නිසා මෙයට විසඳුමක් දෙන්න ඕන. පරිසරයට හානියක් නොවන පරිදි, ජනතාවට හානියක් නොවන පරිදි අපි මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරනවා. එම ව්‍යාපෘති නවත්වන්නේ නැහැ. එහි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් එය සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සඳහා ඕනෑම කෙනෙකුට අවස්ථාව දෙනවා. මෙම උඩින් යන මංතීරු හතරක අධිවේගී මාර්ගය රටේ ජනතාව වසර ගණනාවක් පුරා කළ ඉල්ලීමක්. කිසිම දෙයක් පහළින් යන්නේ නැහැ. කිසිම පරිසර විනාශයක් අපි කරන්නේ නැහැ. 

මෙම ව්‍යාපෘතිය කරන්නේ ජනතාවට. මේ රටට. මෙම ව්‍යාපෘතිය තුළින් පරිසර දූෂණය අවම වෙනවා, ජනතාවගේ මුදල්, කාලය ඉතුරු වෙනවා.වසර පහක යහපාලනය තුළ කිසිම වැඩක් නොකරපු අය බොරු දේවල් ජනතාවට කියනවා. පරිසර හිතකාමී ලෙස ජනතාවට ඉතා වැදගත් ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරනවා. ඒවා නැවැත්වීමට ඉඩ තබන්නේ නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles