රාජිතලාට මවුන්ට් එලිසබත් – අසරණ රෝගීන්ට රෝහල් බංකුව

0
839

ඇමති රාජිත සේනාරත්නට හදිසියේම රෝගය උත්සන්නවීම නිසා සිංගප්පූරුවේ මවුන්ට් එලිසබත් රෝහලට රැගෙන යන්නට සිදුවිය. රටක් වටින සෝබිත හිමියන් රටේ අහේතුවට මවුන්ට් එලිසබත් රෝහලේදී අපවත් විය. රාජිත සේනාරත්නට මවුන්ට් එළිසබෙත්හි සිට පුත්‍ර‍යාගේ උපන්දිනයට කේක් කවන්නටද හැකිවිය. ඒවා ප්‍ර‍ශ්න නොවිය හැක.

සුව ඇමතිවන රාජිතලාට හදිසියේ අසනීප වනවිට විශේෂ යානාවලින් සිංගප්පූරුවට ගෙනගියාට මේ රටේ ‍බොහොමයක් අහිංසක දුප්පත් රෝගීන්ට හිමිව ඇත්තේ රෝහලේ බංකුව මත දුක්විඳීමටය. රෝහලේ එක් ඇඳක රෝගීන් දෙතුන් දෙනෙක්ට දුක්විඳින්න වනවිට රාජිතලාට කෝටි ගණන් වියදම් කර සිංගප්පූරු ප්‍ර‍තිකාර ලැබීමත් අතරේ ඇත්තේ කොතරම් සාධාරණයක්ද?

එසේම අහිංසක රෝගියෙක්ට ජනපති අරමුදලෙන් ප්‍ර‍තිකාර සඳහා අවශ්‍ය මුදලෙන් යම්කිසි කොටසක් ආවරණය කරගැනීමට කොතරම් දුක්විඳින්නට සිදුවූවත් මේ රටේ මැති ඇමතිවරුන්ට ඒ ප්‍ර‍ශ්න නැත. රාජිතලාට කොහොමත් එවැනි ප්‍ර‍ශ්න නැත. මුහුදේ නැව් දුවනා තෙක් රාජිතලාට කිසිඳු ප්‍ර‍ශ්නයක් නැත.

අපේ රට තුළ ආර්ථික තත්ත්වය ලෙල්ලටම වැටී ඇති වාතාවරණයක් තුළ රටට මුදල් ගලාඒමේ ප්‍ර‍වණතාව ඉතා පහතට වැටී ඇත. ඒ හේතුවෙන් මුදල් සංසරණයද පහත වැටී ඇත. එවැනි වටපිටාවක රටේ සුබසාධන සේවාවන් සඳහාද රජයට වෙන්කල හැකි සහ වැයකල හැකි මුදල වෙනුවෙන් ණයගැනීමට පවා සිදුවන තත්ත්වයක් උද්ගතව ඇත. එවැනි තත්ත්වයකදී ඇමතිලාගේ සෞඛ්‍ය වෙනුවෙන් කෝටි ගණන් වියදම් කරන්නටත්, පාර්ලිමේන්තුවේ දී මැති ඇමතිවරුන්ට සම්බාහනය පවා නොමිලේ සම්පාදනය වෙද්දී මේ රටේ බහුතරයක් දුප්පත් මිනිසුන්ට අවම සෞඛ්‍ය පහසුකම පවා ලබාදීමට නොහැකි තත්ත්වයකට රජය පත්ව ඇත.

රජයේ රෝහලක සේවාවන්ගෙන් පරීක්ෂණ සේවාවන් වැඩි ප්‍ර‍මාණයක් බාහිරව පුද්ගලික මුදල් වැයකර සිදුකල යුතු තත්ත්වයක් දැන් මතුව ඇත. ඒ නිසාවෙන් අහිංසක රෝගීන්ට හිමිවෙන්නේ බංකුවම බව පැහැදිලිය. එහෙත් මැති ඇමතිවරුන්ට මවුන්ට් එලිසබත් රෝහලේ පිහිට දිගටම ලැබෙන යහපාලනයක අරුමය විඳීමට තරම් රට වැසියන් කොතරම් කාලකණ්ණිදැයි බව සිතාගත යුතුය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර‍)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here